Friday, May 26, 2017

මෙලීසාගේ බිකිණිය, සයිටම් සහ ලංකාවේ අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට හෙනහුරා ලබා ඇත්තේ අප ඉපදෙන්නටත් පෙර සිටම වෙන්නට පුළුවන් ය. එහෙව් පව් පින් කොරවන්නට කියා අපි වෙනසකට ඡන්දය දී බුකියෙන් ආණ්ඩුවක් පෙරලූ අතර අර හෙනහුරා නම් තවමත් අධ්‍යාපනයට ගේම දෙමින් ඉන්නවා ය. 

සයිටම් නාඩගම නැගලා යන අතර අන්තරේ තමා කඩේ ගිය සාධාරණ යහපාලිතයන්ගෙන් නොලැබුණු ඉල්ලීම් දිනාගන්නට සුපුරුදු මාර්ගයටම අවතීර්ණ වීම මා නම් දකිනා හැටියට දෛවයේ සරදමක්ය. ඔය කොයි පැත්තටවත් නැති අර කමියා මගේ කලින් පෝස්ටුවේ කියා ඇති පතෝල මෙතඩ් එකෙන් බැලුවත් මට කට පියාගෙන ඉන්නට බැරි නිසා සෑහෙන්න කාලයක් නොලියා හිටි දේවල් අද ලියන්නට හිතුවාය. සයිටම් ප්‍රශ්නයේදි අන්තරේ සමග මගේ එකඟතාව කොන්දේසි සහිතවය. එසේ වූවා කියා පෞද්ගලික අධ්‍යාපනය ලංකාවෙන් 100%ක් අතුගා දැමිය යුතු නැත. අවශ්‍ය වන්නේ නිසි ප්‍රමිතිකරණයක් සහ ඒ ප්‍රමිතිය රැකගැනීමේ වැඩපිළිවෙලක් ය. නමුත් ලංකාවේ අධ්‍යාපන කන්තෝරුවලටත් විෂය භාර ඇමති සුදූටත් කොච්චරක් නම් වැඩ රාජකාරි ඇතිදැයි කියතොත් සුදු ඇඳුම් පාට කොරන්නට, ගැබිනි ටීචර්ලාගේ සාරි ගලවන්නට, මඩ ගැහුණු සුදු ඇඳුම් එලලාගෙන ආය කටුවලින් අමුණාගෙන සෙරෙප්පු දෙකක්වත් දෙපයේ නැතිව යලට මහට පාසැල් එන පිටු 40 කොපි පොතක සෙරෝම විෂයන් පැන්සල් කොටේකින් ලියාගෙන යන දරුවන්ට ටැබ් බෙදන්නට, අගුපිලක් තරමවත් පංති කාමර පහසුකමක් නොවන පාසැල්වල හිටංගේ මුඩුම මුහුණේ පිංතූරු ගසන්නට වාගේ අතිශය වැදගත් වැඩ රාජකාරි අතර ප්‍රමිතියකරණයක් ගැන කතා කිරීම හිනායන්නේත් නැති පට්ට බෝරිං විහිළුවක්ය. මොකක් හෝ නමක් ගමක් ලියාගෙන අස්සනක් ගසා ප්‍රමිතිකරණ සහතිකයක් දුන්නත් කාලයක් යනවිට ඒකට වෙන්නේත් වක්කඩේ හැංගූ හකුරු කැටේට වෙච්චි දේම නිසා අපේ මහදැනමුත්තෝ ලේසි පාරෙන් මොක්පුරේ යන්ට දත කන්නෝය. දැන් මේ කියවන ඔබ සියළු දෙනා තමතමා සිටගන්නා පිලේ මනාපයට මගේ ඔළුව කන්නට නම් දත කන්නට වලි කන්නට එපා ය. මම පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නොවෙමිය. අන්තරේ කියන ආකාරයට සයිටම් ඇතුළු සියළු පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීම මට විහිළුවක්ය. හෙට දවසේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දු බිහිවීම වැලැක්වීමට නම් අද සටන පය බරවායට පයට බෙහෙත් කිරීමක් විය යුතු මිස අනෙකක් නොවිය යුතුය යන්න මගේ මතයය. අවාසනාවකට ඔය කොයි පැත්තත් තවම ඒ බව අවබෝධ කරවාගෙන නැත. 


මේ රටේ සාමාන්‍ය සිවිල් වැසියෙක් ලෙස මට නිසි පුහුණුවක් නොලද හෝ තොගේට බෝට්ටුවෙන් ගොස් වෙදෙක් වූ මනුෂ්‍ය ප්‍රාණියෙක්ට මගේ හෝ මගේ පවුලේ මිනිසුන්ගේ, දරුවෙකුගේ තබා සුරතල් සතෙකුගේවත් ප්‍රාණය ඇපයට තබන්නට කිසිදු බලාපොරොත්තුවක් නැත. වෙදකම යනු දේශපාලනය නොවේ, නීතිවේදය ද නොවේ, ගුරු වෘත්තිය ද නොවේ. ගොඩ වෙදකමක් දෙකක් දත් මට ඔබ වෙදෙක් කියා මගෙන් බෙහෙත් ගන්නට එන්නේ නැත. මට සල්ලි තිබුණා ද නැතිද කියා බලා ඔබ මගෙන් බෙහෙත් ගන්නට එන්නේද නැත. ඔබ බස් ගැමුණුගේ දුව හෝ රාජිතගේ ලේලිය හෝ ලංකාවේ පට්ට දුෂ්කර තෝංගලේකින් පැමිණ රජයේ වෛද්‍ය උපාධිය ලැබූවෙක් වූ පලියට මිනිස්සු බෙහෙත් ගන්නට එන්නේ නැත. එහෙම වෙදකම් කොරන්නට හැකිනම් පිටකොටුවේ ඉටිකොළයක් එලාගෙන කොටුකොටු ට්‍රන්ක පෙට්ටියකින් ගත් චූටි බෝතල් පේලියක් තබාගෙන අර කැක්කුමට මේ කැක්කුමට බෙහෙත් විකුණන තෙල්-බෙහෙත් වෙදුන් ලඟට යනු මිසක ස්පෙෂලිස්ට්ස්ලාට, චැනලින්වලට දහස් ගණන් ගෙවාගෙන නහස්ති කොරන්නට ඔබට පිස්සුවක් තිබිය යුතුය, රජයේ ඉස්පිරිතාලවල පාන්දර 2-3 සිට පෝලිම්වල කට්ට කා නර්ස් නෝනලාගේත් ඇටොංඩොංලාගේත් ගෙම්බර් බලා අතටම දියවූ සායන පොත් කිහිල්ලේ ගසාගෙන දෙන බෙහෙත් උණ්ඩිය මල්ලේ ගුලිකරවාගෙන කට්ට කන්නට තරම් පිස්සුව තිබිය යුතුය. එච්චරක් දුක් නොවිඳ අර තෙල් වෙදෙක් විකුණන ඇංජින් ඔයිල් ටිකක් සකල සරීරයේ ගාගෙන වරු තුනක් නිදාගත්කල සුවපත්වීම වෙදකමේ බලය නම් වෛද්‍ය අධ්‍යාපනය සමහරුන්ට මෙතරම් ඉල්ලමක් වෙන්නට හේතුවක් නැත. 

පුංචි කාලේ සිටම බහුතරය අම්මෙක් තාත්තෙක්ගේම පැතුම තම දරුවා වෛද්‍යවරයෙක් කිරීමය. ඒ බලාපොරොත්තුව අහිංසක බලාපොරොත්තුවක්ය. ඒ හා සැඟවුණු ඇත්ත පවුලට පරම්පරාවට ගෞරවයක් ලබා ගැනීමය. ඉතින් මේ අහිංසක හීනවලට ඉල්ලංකාරයෝ ලංසු තියන්නේ පතල හාරන්නටත් කලින්ය. කොහෙන් ගියත් ගාණ ෂුවර් බව උන් දන්නා නිසා ය. එහෙම බලද්දි බස් ගැමුණුත් එහෙම අහිංසක බලාපොරොත්තුවක් ඇති තාත්තා කෙනෙක්ය. පුතා මහ පචෝරිස් උපාධිය ගත් නිසාවෙන් රාජිතගේ බලාපොරොත්තුවත් තම දරුවන්ට බැරිවූ දේ ලේලි ලව්වා හරි ඉටුකරවාගන්නටය. එතකොට චතුර පුතා සෞඛ්‍යය ඇමති වූ කාලෙක ගෑණි දොස්තර කියාවත් ජාම බේරාගෙන වැඩේ ගොඩ දමාගන්නට චතුරට පුළුවන්ය. හීනයක් තියෙනා එකා හීනේ එළිකරවාගන්නට මොනවාම හෝ කරනවාය. එහෙව් රේස් එකක හරි පාරද වැරදි පාරද කියා තැවෙන්නට මේ පෘථග්ජන මිනිස්සුන්ට වෙලාවක් නැත. නෙවිල් ලොක්කාට මේ හීන බිස්නස් එකක් ය. සල්ලිවලට කරන්නට බැරි දෙයක් නැතැයි සිතන අපේම සමහරු ලස්සනට අන්දවන්නට බිස්නස් කාරයන්ට පුළුවන්ය. අද වෛද්‍ය උපාධියට වෙලා ඇත්තේ ද ඒකය. නමුත් විය යුත්තේ රජයේ මැදිහත්වීමකින් මේවා නිසි ප්‍රමිතිකරණයකට යටත් කිරීමය. ඇති එකා ද නැති එකා ද එකම දෙය ඉගෙන එකම විභාගය ලියා එකම පුහුණුව ලැබුවා කියා කාටවත් හෙණ ගසන්නේ නැත. රජයක් සමනළ රෑනක් වූවාට කොරන්නට දෙයක් නැත, නමුත් තොත්ත බබාලා සමූහයක් වීම නම් අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් වන්නේය. මම දන්නේ නෑ මට තේරෙන්නේ නෑ වාගේ බබා උකුං ඔවුන් විසින් පෙන්නනවා නම් ඔවුන් නිසි මගට ගැනීමය සිවිල් සමාජයේ වගකීම. මේවා කරන්න බැරි ඇයි යන ප්‍රශ්නය අන්තරේ විසින් ඇසිය යුතුය. නමුත් කණගාටුවට කාරණය අන්තරේ හිතන්නේ කඩේ වැසීම එකම පිළියම කියාය. සියළු පෘථග්ජනයන්ට සිහි ලැබේවා!

අද සයිටම් විරෝධී කොලු කෙල්ලන්ට පමණක් නොව පාක්වල ලව් කරකර ඉන්නා උන්ටද තමන්ගේ වාහනවල පරිපූරක ඇස්තමේන්තු තවම පාස් නොවීම නිසා තාවකාලිකව බස්වල යන සාමාන්‍ය සිවිල් ජනතාවට ද මිනිස්සුන්ගේ කිලිටි පශ්චිම භාග ඔසවාගෙන ගොස් හාම්පුතුන්ට හරිහම්බකරවාදෙන අහිංසක පෝනියන් ද සතර දිගන්තයේ සිටින සියළු දෙනාටම ද හෝල්සේල් එකේ පොලීසිය ගේම දෙනවාය. මාර්තු මාසයේ කොටුවේදී මටත් එවන් පිනක් පෑදුණු අතර ලේක් හවුස් වටරවුමට ආ පෙළපාලියට දුන් ගේම මල්වත්ත පාර පැත්තට යනතුරුත් එළව එළවා දුන් අතර දෙයියනේ කියා පණ බේරාගෙන රීගල් වටරවුමට ආ පසු කොම්පඤ්ඤ වීදිය පැත්තට යනතුරු එළව එළවා පහර දෙනවිට තව පොඩ්ඩෙන් දුවන කොලු කෙල්ලන්ට පෑගී අහිංසක මම ස්වර්ගස්ථ වෙනවාය. ඒත් ඉතින් එහෙම වුණේ පහුගිය කාලේ විතරමය කියනා කස්ටිය ඉන්නා නිසා මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ කාලයේ තීර්ථ යාත්‍රිකයා වෙන්නට මට ලැබිච්ච චෑන්ස් එකක් වෙන්නට ඇති ය.

එක් අතකට නිකං නිස්කාරණේ ගුටි කාගෙන පෑගීගෙන මැරීගෙන ඔය කොලු කෙල්ලන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියා කියනා ඇටිකෙහෙල රකින්නට යන එකත් අපරාදේය. බාර්වලින් සල්ලි හොයා ගෙවා ඉගෙන ගන්නට හැකි නාරිලතා පුප්ප ඉන්න රටක නිදහස් අධ්‍යාපනය අවශ්‍ය වන්නේ කාටද කියා උන්ටමත් නොහිතුණොත් පුදුම වෙන්නට එපාය. කලිනුත් කීවා වාගේ මඩ ගැහුණු සුදු ඇඳුම් එලලාගෙන ආය කටුවලින් අමුණාගෙන සෙරෙප්පු දෙකක්වත් දෙපයේ නැතිව යලට මහට පාසැල් එන පිටු 40 කොපි පොතක සෙරෝම විෂයන් පැන්සල් කොටේකින් ලියාගෙන ඉගෙන ගන්නා දරුවන් ඉන්නා රටක, වැඩබිම්වල අමතර වැඩ කරමින් සිමෙන්ති අනමින් අත් උදව් දෙමින් ඉගෙන ගන්නා දරුවන් ඉන්නා රටක, මහපොළ කියා අල්ල ලෙවකා ඉගෙන ගෙන සාර්ථක වූ දරුවන්, වෘතීයවේදීන් ඉන්නා රටක, තරුණ අසහනය දේශපාලන වේදිකාවලට උඩ දම දමා ගැයෙන රටක මෙලිසාගේ බිකිණිය සහ ප්‍රදර්ශනකාමය ඈ වීරවරියක් කෙරූ හැටි අපි බලා උන්නෙමුය. අර දුක් විඳින දරුවන්ගේ සියළු සාර්ථකත්වයන් හා ජයග්‍රහණ මෙලිසාගේ බිකිණි පටියේ ගැටය මෙන් ලිහී යන විට මේ සමාජයම තලු මරමින් බඩ තෙක් එල්වූ දිවෙන් කුණු රසය බිව් හැටිය අපි දුටුවෙමුය. කුණු රසට කුණු විකිණිය යුතු බව දන්නා මෙලීසලාට අනුකම්පා කළ යුතුද නැද්ද යන්න ඔබට භාර බවය, මගේ මතය. 
මෙලීසා උඩ දමන හා දැමූ උන්ගෙන් මට අසන්නට ඇත්තේ එක් ප්‍රශ්නයකි; එය නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුද යන ප්‍රශ්නයේම දිගුවක් ලෙස ඇසිය යුතුය. ඔව්, මෙලීසාට මෙන් නිරුවත විකුණා කන්නට නොහැකි, එසේ කොට නැදෑ සනුහුරයකටම පාරට බැසිය නොහැකි ඔබගේ හෝ මගේ දරුවෙකුට හෙට අධ්‍යාපනයට වියදම් කිරීම සඳහා එවන් පියවරක් ගැනීමට සිදුවීම වළක්වන්නට නම් රටේ නිදහස් අධ්‍යාපනය සුරැකීම අත්‍යාවශ්‍යය. පෞද්ගලික අධ්‍යාපන අවස්ථා තිබිය යුතුය. නිවැරදි සමබරතාව හඳුනා ගැනීමත් ක්‍රියාත්මක කිරීමත් රජයක වගකීම ය.

එසේම මෙලිසා වීරවරියක කරනා ඊනියා සාධාරණ සමාජයට ජයලාල් රෝහණලා නොපෙනීම කණගාටුවක් වන්නේ ඒ ඔවුන්ගේ දැනීමේ වපසරිය පෙන්වන නිසා ය. සිය පියාගේ හදිසි මරණයෙන් පසු පවුලේ බර දැරීමට ද අධ්‍යාපනය නොනවත්වා කරගෙන යාමට ද අත් උදව්කරුවෙකු ලෙස පවා කටයුතු කළ බව (මීට අදාළ වැඩසටහන හෝ ලිපියක් මට සොයාගන්නට නොහැකි විය) ඉතා නිහතමානීව පවසන ජයලාල් රෝහණ උපාධි කිහිපයකටම හිමිකම් කියන්නෙක් ය. මෙලිසලා වැනි බොල් චරිත කුණු රසයට උඩ දමන ඔබ ජයලාල්ලා වැනි මහ පොළොවේ පය ගසා මුල් විහිදා වැඩුණු ගස් ගැන දැන ගත යුතුය. නැතිනම් ලංකාවේ කොයි අධ්‍යාපනය දුන්නත් ආකල්ප සහ ගුණ ධර්ම අතින් පිරිහුණු කබ්බන් ලොක්කන් වීම වලක්වන්නට සක්කර දෙයියන්නාන්සේට තබා සිරි ලංකා ප්‍රචාතාන්ත්‍රික ජනරජයේ වර්තමාන සනාධිපතිවරයාටවත් නොහැකිවනු ඇත.

8 comments:

  1. Replies
    1. ස්තූතියි ඩියෝන් :)

      Delete
  2. Replies
    1. මෙන්ඩා සෑහෙන්න කලකින්. කෙසේද වාස දේස? :)

      Delete
  3. දෙය්යනේ කොයි ලෝකෙද හැංගිලා හිටියෙ... මේ ලිපි නැති අඩුව නම් හොඳටම දැනුන මේක කියවද්දි. පට්ටයි ..

    ReplyDelete
  4. පෞද්ගලික අධ්‍යාපනේ?

    ඈ බොලේ... ඔතනදි මේ මෙඩිකල් කොලේජ් කියනකොටනේ කට්ටිය සරොන්, කම්බිලි, සායවල් උඩට උස්සගෙන දුවගෙන එන්නේ. අනිත් ඔක්කොටම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති වෙනකල් ඔක්කොමල්ලා සද්දේ වහගෙන හිටියේ මොකද අප්පේ? මෙඩිකල් කොලේජ් කිව්වහම උන් වෙන ග්‍රහලෝකෙකින් එනවද? විකාර! මම නම් පෞද්ගකිල අධ්‍යාපනයට විරුද්ධ නැත. ඒවා තිබිය යුතුය. ජාතික ප්‍රතිපත්ති /ක්‍රමවේද / නියාමන/ ප්‍රමිති ගැන පමණක් නම් ගැටළුවක් ඇත. ඒකට මෙඩිසින් කියා අලුත් වෙනසක් මට නම් නොදැනේ. අනෙක් සියලුම උසස් අධ්‍යාපන අංශත් ඒ වාගේම වැදගත්ය. දොස්තරලා පමණක් 'නියම' වීමෙන් රටකට මෙලෝ වැඩක් නැත!!

    ජයලාල් රෝහණ එන්නේ එක්තරා පන්තියක සිටය. ඔහු ඒ කතාව කිවේ දොරමඩලාවට පැමිණි වෙලාවකය. සංවේදී කතාවකි. නමුත් ඒ කතාව අස්සේ මට කතා ගොඩක් පෙනුනි. එය ඇතුලේ දරුවන් ලවා කුලී වැඩ කරගත් මිනිසුන් ( අධම? සානුකම්පිත?), පෙනුමට වඩා ඉගෙනුමට මුල්තැන දුන් ගුරුවරුන්, වලිබර පවුල් සහ තවත් එකී නොකී දේවල් ගොඩාරියක් මම දැක්කා. ඒවා කාලානුරුපියි. හැමදේම යහපත්ව සිද්ද උන නිසා දැන් අපිට වරදක් හෙවිමෙන් වැඩක් තියේද?

    මෙලිසා ආවේ වෙනත් පංතියකින්. මැක් එකේ රස්සාවක් වෙනුවට ඇය වෙනත් දෙයක් තෝරාගන්නවා. මට නම් වරදක් පෙනෙන්නේ නැහැ. මම එහෙම නොකලයි කියලා එය වරදක් වෙන්නේ කොහොමද? හැබැයි මට වීරයෝ ඉන්නවා ඊට වඩා.

    නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනය කියන්නේ දෙකක්.

    ReplyDelete
  5. ප්‍රමිතිය එක්ක යනවා නම් හරි ඕනම දෙයක්.. ජයවේවා !!

    ReplyDelete
  6. සයිටම්හි සුජාතභාවය වෙනුවෙන් පෙනී සිටින විතණ්ඩතාවාදීන් සිදුකරනුයේ සයිටම් විරෝධයේ පවත්නා මුඛ්‍ය කාරනය යටපත් කරමින් අරගලය වටා සිටින පාර්ශව වල කළු සුදු භාවය ප්‍රශ්න කිරීමයි.අනික සයිටම් විරෝධය යනු හුදෙක් සයිටම් සදහාම පමණක් වන විරෝධයක් නොවේ.එහි සැබෑ අන්තර්ගතය වන්නේ රටේ පවත්නා අවිධිමත් අධ්‍යාපන ක්‍රමය සම්බන්ධ ප්‍රශ්නයයි.සයිටම් යනු එහි එක්තරා සංකේතයක් පමණි.මොහොතකට හිතමු සයිටම් අායතනයේත් උපාධි ප්‍රධානය අත්හිටුවීමට නැතහොත් සයිටම් ජනසතු වීමක් සිදු වුනා කියල, එනමුත් සයිටම් විරෝධය හරහා ගොඩනැගුනු අධ්‍යාපනය සම්බන්ධ සමාජ කථිකාවත නොනැවැත්විය යතුය.සයිටම් අායතනයේ උපාධි ප්‍රධානය අත්හිටුවීමෙන් නිර්මාණය වන සමාජ වටපිටාව, එකී ප්‍රවණතාව රටේ අධ්‍යාපන ක්‍රමයේ පවත්නා ගැටළු සම්බන්ධව ප්‍රශ්න කිරීමට ලැබෙන එෙතිහාසික අවස්ථාවකි.අප කළ යුත්තේ ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි.මින් අදහස් වන්නේ උද්ගෝෂණ කිරීමම නොවන අතර වඩා යහපත් සමාජයක් උදෙසා අධ්‍යාපන ක්‍රමය කෙසේ සකස්විය යුතුද යන්න බුද්ධිමත් සංවාදයක් රට තුල නිර්මාණය කිරීමකි.

    ReplyDelete