Saturday, December 19, 2015

චල - අචල

නුඹ උදා වී
නහවනු ඇති නමුත්
සහසකුත්..
නුඹගේ අමිල ප්‍රේමයෙන්..
නුඹ උදාවූ දා 
වාගේම..
චල නුඹ මියෙන දාටත්
අචල ප්‍රේමය මම වෙමි
කල්පාන්තය තෙක්ම..



Thursday, December 17, 2015

බය..

කටු කම්බි තුඩුවලට
සීරෙද්දි අඩ සඳ නළල
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
සිලිටි හම කැපෙනකොට
රිදෙන හන්දා නොවුණට
ගලන ලේ වැල්වලට
ඇස් කෙවෙනි දැවෙනකොට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම...

තුනී කරදහි බිත්ති
ඇකිලෙද්දි හදවතේ
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
එක මිටට පොඩි නොකර
සීරුවෙන් කපනකොට
වීදුරු කටු වචන
හදවත පෙළනවට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..

ආදරේ පිරුණ ඉඩ
හිස් වෙවී යනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
හිස්කමට නොවුණට
ඒ ඉඩට පොරකන
කළකිරීමට දුකට
කෙස්ගහේ වෙනසට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..



Monday, December 14, 2015

තනියාගේ ඉක්කෝල ගමන් - 1

අද කියන්න යන්නෙත් ඉතින් බයිට් කතාවක්ම තමයි..එකම වෙනස මේක ප්‍රවාහනයට සම්බන්ධ වීම..

පුංචි වයසේ පින්වතුනි ඔය අපේ ලඟම ඥාතීන් කීපපොළකට හෙන රුදාවක් තිබ්බා මාව ස්කූල් වෑන් එකකට ඔබන කල් නින්ද නොයන..අනේ ඉතින් කන්කරච්චලේ ඉවසන්නම බැරිතැන දෙමව්පියෝ කල්පනා කොරලා මාව වෑන් තඩියකට භාර දුන්නා අවුරුදු 9න්..මේ අවස්ථාවේ ඔය කිව්ව ඥාතීන්ගේ හතර වරිගෙට හචිං යනවා නම් සමහන් පැකට් එකක් හදන් බොතහැකී ඉතින්..! 

අනේ ඉතින් තරු කෙලීට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝට් එකේ වගේ සැපක් නැතිබව නැගපු පළවෙනි පැයේදිම තේරුණයි කියමුකෝ..වෙනදා පොඩි එකී කරන්නේ වාහනේට නැගපු ගමන් යුනිෆෝම් එකයි මේස් සපත්තුයි ගලවලා දාන එක..ඊටපස්සේ ඉතින් පෙටී එක පිටින් ඔය කිරි පැකට් එකක් හරි මොනාහරි කඩචෝරුවක් කටේ ගහන් ඉස්සරහෙන් පිටිපස්සට පිටිපස්සෙන් ඉස්සරහට වාහනේ පුරා පෙරලි කරලා ගෙදර ළංවෙද්දි බෙල්ල කඩන් දොයි..ගෙදර ගියාම අම්මාගෙ හරි තාත්තාගෙ හරි කරෙන් ගෙට..සැප කනේ! :D

Sunday, December 13, 2015

මේ බජාර් එකට මල්ලී..!

"ආලෝකය ඉපදුණ දා අන්ධකාරය ද ඉපදුණේය.
පොහොසත්කම ඉපදුණ දා දුප්පත්කම ද ඉපදුණේය.
රජුන් ඉපදුණ දා සිඟන්නන් ද ඉපදුණේය."

ඒ "ඇඩ්‍රස් නෑ" පූර්විකාව..



චිත්‍රපටය කරළියට ආවේ දේශපාලනික නිර්වචනයක් ලද ආන්දෝලානාත්මක පෝස්ටරයක් සහ වැකියක් සමග වුවත්, එයින් සමහරුන්ගේ හිත බිඳුණාවන්නට පුළුවන්වුවත් (සමහරුන්ට තවමත් ඒ හිත් බිඳීමෙන් වහගත් සුපුරුදු කුහකත්වයෙන් ගොඩ එන්නට බැරිකමකුත් පේනවා) මෑත සිංහල සිනමාවේ ඉතාම සාර්ථක නිර්මාණයක් බව නොකියාම බැහැ.සමහරුන් ජැකා පූර්ණ කාලීන දේශපාලනික සත්වයෙක් ලෙස හංවඩු ගහන්නට දත කෑවත්, ඔහු තුළ සිටින දක්ෂ කලාකරුවාව සහ රංගධරයාව නොසලකා හැරීම කුහකත්වයක් මිස වෙන කිසිවක් නොවන බවයි මගේ අදහස..අනික් අතට සමකාලීන ශ්‍රියන්ත, කමල්, ජැක්සන් කියන මේ තුන්කට්ටුව, 90 දශකයේදී තරුණයන් ලෙස බොහෝ දක්ෂතා පෙන්වූවන්..අද නිළියට මෙන්ම මේකප් තට්ටුවක් උලා, තොල් පාට කරවා ලොල්ලන් මෙන් කරළියට ගෙන එන (බහුතර) නළුවන්ට වඩා පොළොවේ පය ගසා උන් තාරුණ්‍යයක් කරළියට ගෙන ආ මේ තුන්කට්ටුවට සංසන්දනයක් කිරීම සාධාරණ නොවන නමුත් ජැක්සන් ඔහුගේ අරමුණ අතිශය සාර්ථක කරවාගෙන ඇති බවයි මගේ පෞද්ගලික හැඟීම.අනෙක් අතට ඔවුන් තිදෙනා විසින් නවකයන්ට පෙන්වන ආදර්ශය නොසලකා හරින්නටත් නොහැකියි..