Saturday, December 19, 2015

චල - අචල

නුඹ උදා වී
නහවනු ඇති නමුත්
සහසකුත්..
නුඹගේ අමිල ප්‍රේමයෙන්..
නුඹ උදාවූ දා 
වාගේම..
චල නුඹ මියෙන දාටත්
අචල ප්‍රේමය මම වෙමි
කල්පාන්තය තෙක්ම..



Thursday, December 17, 2015

බය..

කටු කම්බි තුඩුවලට
සීරෙද්දි අඩ සඳ නළල
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
සිලිටි හම කැපෙනකොට
රිදෙන හන්දා නොවුණට
ගලන ලේ වැල්වලට
ඇස් කෙවෙනි දැවෙනකොට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම...

තුනී කරදහි බිත්ති
ඇකිලෙද්දි හදවතේ
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..
එක මිටට පොඩි නොකර
සීරුවෙන් කපනකොට
වීදුරු කටු වචන
හදවත පෙළනවට
මට බය හිතෙනවා 
තමයි හොඳටෝම..

ආදරේ පිරුණ ඉඩ
හිස් වෙවී යනකොට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..
හිස්කමට නොවුණට
ඒ ඉඩට පොරකන
කළකිරීමට දුකට
කෙස්ගහේ වෙනසට
මට බය හිතෙනවා
තමයි හොඳටෝම..



Monday, December 14, 2015

තනියාගේ ඉක්කෝල ගමන් - 1

අද කියන්න යන්නෙත් ඉතින් බයිට් කතාවක්ම තමයි..එකම වෙනස මේක ප්‍රවාහනයට සම්බන්ධ වීම..

පුංචි වයසේ පින්වතුනි ඔය අපේ ලඟම ඥාතීන් කීපපොළකට හෙන රුදාවක් තිබ්බා මාව ස්කූල් වෑන් එකකට ඔබන කල් නින්ද නොයන..අනේ ඉතින් කන්කරච්චලේ ඉවසන්නම බැරිතැන දෙමව්පියෝ කල්පනා කොරලා මාව වෑන් තඩියකට භාර දුන්නා අවුරුදු 9න්..මේ අවස්ථාවේ ඔය කිව්ව ඥාතීන්ගේ හතර වරිගෙට හචිං යනවා නම් සමහන් පැකට් එකක් හදන් බොතහැකී ඉතින්..! 

අනේ ඉතින් තරු කෙලීට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝට් එකේ වගේ සැපක් නැතිබව නැගපු පළවෙනි පැයේදිම තේරුණයි කියමුකෝ..වෙනදා පොඩි එකී කරන්නේ වාහනේට නැගපු ගමන් යුනිෆෝම් එකයි මේස් සපත්තුයි ගලවලා දාන එක..ඊටපස්සේ ඉතින් පෙටී එක පිටින් ඔය කිරි පැකට් එකක් හරි මොනාහරි කඩචෝරුවක් කටේ ගහන් ඉස්සරහෙන් පිටිපස්සට පිටිපස්සෙන් ඉස්සරහට වාහනේ පුරා පෙරලි කරලා ගෙදර ළංවෙද්දි බෙල්ල කඩන් දොයි..ගෙදර ගියාම අම්මාගෙ හරි තාත්තාගෙ හරි කරෙන් ගෙට..සැප කනේ! :D

Sunday, December 13, 2015

මේ බජාර් එකට මල්ලී..!

"ආලෝකය ඉපදුණ දා අන්ධකාරය ද ඉපදුණේය.
පොහොසත්කම ඉපදුණ දා දුප්පත්කම ද ඉපදුණේය.
රජුන් ඉපදුණ දා සිඟන්නන් ද ඉපදුණේය."

ඒ "ඇඩ්‍රස් නෑ" පූර්විකාව..



චිත්‍රපටය කරළියට ආවේ දේශපාලනික නිර්වචනයක් ලද ආන්දෝලානාත්මක පෝස්ටරයක් සහ වැකියක් සමග වුවත්, එයින් සමහරුන්ගේ හිත බිඳුණාවන්නට පුළුවන්වුවත් (සමහරුන්ට තවමත් ඒ හිත් බිඳීමෙන් වහගත් සුපුරුදු කුහකත්වයෙන් ගොඩ එන්නට බැරිකමකුත් පේනවා) මෑත සිංහල සිනමාවේ ඉතාම සාර්ථක නිර්මාණයක් බව නොකියාම බැහැ.සමහරුන් ජැකා පූර්ණ කාලීන දේශපාලනික සත්වයෙක් ලෙස හංවඩු ගහන්නට දත කෑවත්, ඔහු තුළ සිටින දක්ෂ කලාකරුවාව සහ රංගධරයාව නොසලකා හැරීම කුහකත්වයක් මිස වෙන කිසිවක් නොවන බවයි මගේ අදහස..අනික් අතට සමකාලීන ශ්‍රියන්ත, කමල්, ජැක්සන් කියන මේ තුන්කට්ටුව, 90 දශකයේදී තරුණයන් ලෙස බොහෝ දක්ෂතා පෙන්වූවන්..අද නිළියට මෙන්ම මේකප් තට්ටුවක් උලා, තොල් පාට කරවා ලොල්ලන් මෙන් කරළියට ගෙන එන (බහුතර) නළුවන්ට වඩා පොළොවේ පය ගසා උන් තාරුණ්‍යයක් කරළියට ගෙන ආ මේ තුන්කට්ටුවට සංසන්දනයක් කිරීම සාධාරණ නොවන නමුත් ජැක්සන් ඔහුගේ අරමුණ අතිශය සාර්ථක කරවාගෙන ඇති බවයි මගේ පෞද්ගලික හැඟීම.අනෙක් අතට ඔවුන් තිදෙනා විසින් නවකයන්ට පෙන්වන ආදර්ශය නොසලකා හරින්නටත් නොහැකියි..

Wednesday, November 25, 2015

නුඹට ලියා තබන වග නම්...

නික්මෙන්නට මොහොතක් තබා මම ලියමි.
නුඹ නොදන්නා මගේ සිතුවිලි, මහළු නොවූ මගේ ප්‍රේමය ලියා තබනට නිසි කල එළඹ ඇතැයි සිතන මොහොතක මම ලියන්නට ගනිමි.නුඹට වදන් කොට කිව නොහැකි වූ, මගේ හිත මා සමග දොඩමළු වූ අනේකවිධ සිතුවිලි මම අකුරු කොට තබමි, යම් මතුදාක නුඹට කියවා දැනගනු හැකිවනු පිණිස..

ප්‍රේමයක හැඩතලක් දකින්නට පෙර නුඹ මට හමුවුණෙහිය.ප්‍රේමයක රස හඳුනන්නට පෙර නුඹ මගේ හිත දිග්විජය කළෙහිය.ප්‍රේමයක බර විඳින්නට පෙර නුඹ එහි අතුපතර විහිදා නැගී සිටියෙහිය.ඉතින්, මම කුළුදුලේ නුඹට ප්‍රේම කළෙමි.

Saturday, November 21, 2015

Amygdala...!

Amygdala...!
උඹට බැහැ ආයෙම
ප්‍රේම සාගරේකට
මාව තල්ලු කර දමන්න..
ගිලෙනවා දැක දැක
මහ හඬින් හිනැහෙන්න...
හිනැහෙහී විරහවක්
ඈත සිට පෙන්වන්න...
Amygdala...!
උඹට බැහැ ආයෙම
කටුකම්බි කඩාගෙන
හදවතට වදින්න...
ඇස් කෙවෙනි දැවෙනකල්
දුක කොනිති ගහන්න...
අතරමං වෙනකල්
හිත ඔහේ කරකන්න..
කෙටියෙන්ම Amygdala
උඹට බැහැ මාව
උඹෙ පදේට නටවන්න
තවත්නම් කොහෙත්ම...!



Note: The amygdala is the part of our brain that handles emotions.


Friday, November 13, 2015

තනියා සහ සංගීත උණ

අපි හැමෝටම එක එක වර්ගයේ උණ තියෙන බව මම මුල් කාලෙත් කතා කරලා තියෙන දෙයක්නේ..දැන් ඔය උණෙත් එක එක වර්ග අපේ ජීවිත වැලඳගන්නේ විවිධාකාර විදියටයි..තනියාටත් ඔය කියමන එහෙම් පිටින්ම වලංගුයි මොකද ඒකාත් පෘථග්ජනයි.ඉතින් ඔහොම තිබුණු/තියෙන එක උණක් තමයි සංගීත උණ.

ඔය සංගීත උණට මූලිකම හේතුව තනියාගේ මව් පාර්ශවයෙන් ආව සංගීත ආභාෂය.තනියාගේ තියෙන නාහෙට නාහන හිතුවක්කාරකම කොච්චර තද වුණත් සංගීතය විඳින සංවේදී එකෙකුත් ඔය හිතුවක්කාර සරීර කූඩුව අස්සෙම කොහේහරි ඉන්නවා..තනියාගේ සීයා තමයි ඔය සංගීත පිස්සුවේ මුදුන් මුල.වෘත්තීයෙන් ඉන්ජෙක් වුණාට මොකද සංගීත හා ලේඛන කලා පිස්සුව තදටම තිබ්බ කෙනෙක් තනියගේ සීයා.පුංචි කාලේ ඉඳන්ම මව් පාර්ශවයේ පවුලේ කට්ටිය එකතුවුණහම සීයා ඕගන් එක ගහමින් සිංදු කියන එකත් අනික් කට්ටියත් බොහොම උද්‍යෝගයෙන් යුතුව ඕකට එකතුවීමත් මගේ පුංචි කාලේ බොහොම මිහිරිම මතකවලින් එකක්..ඒ වගේම සීයාගේ මල්ලිත් අපූරු වගේම බොහොම දක්ෂ කලාකාමියෙක් (ඔහු ගැන වෙනමම දවසක ලියන්නට ඕනා)..ඉතින් ඔය සංගීත සාගරේ ආභාෂය නිසාම තනියාත් පුංචි කාලේ හිතුවා ගායිකාවක් වෙන්න..සීයලා ගයන්නේ ක්ලැසික්ස්, සීටීගේ, සුනිල් ශාන්තලාගේ සිංදු වුණාට තනියා ඒවත් කියන අතරේ උපරිමේටම රස වින්දේ රූකාන්තගේ සිංදු..දැන් කාලේ ස්ටාර්ලටත් වඩා මම හිතන්නේ රූකාන්ත ජනප්‍රිය තලේක හිටි කාලයක්නෙ 90 දශකය කියන්නේ..එතකොට ඉතින් අර උඩ පැන පැන ගිටාර් එක ගගහා අරහෙට මෙහෙට ඇඹරිලා සිංදු කියන අතිශය ප්‍රාසාංගික කලාව තනියාගේ බොක්කට, අග්න්‍යාශයට හිටං ජීර්ණය වෙලා තිබ්බ නිසා ඉස්ඉස්සෙල්ලාම රූකාගේ සිංදු වගයක් පත්තරේක දැකලා ඒ ටික ලියලා දෙන්න කියලා අම්මට කනිපින්දම් කියනකොට තනියා නර්සරියේ..! ආයේ මොනවද ඒ ටික දිහා බලන් වචනවල තේරුම්වත් නොදැන තමයි රූකා වගේම ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කළේ..! :D

Tuesday, October 20, 2015

වසන්ත කොටුවැල්ල, විරහි ප්‍රේමය සහ ගීතය

කාලෙකින් ගොඩ වදින්නට නොහැකිවුණු තැනක් තමයි චන්දන ගුණසේකර සහෝදරයාගේ සඳුන් සෙවණ..ඒකට හේතුව කාර්යබහුලකම වුණත් අද මට අවස්ථාවක් ලැබුණා ඒ පැත්තේ ගිහින් එන්න.ඇත්තටම කියනවා නම් මාව ඒ ගමනට පෙළඹූ කාරණාව තමයි, කාලය සමඟ සැඟව ගිය, මම කුඩා කාලයේ සිට බොහොම ප්‍රිය කළ රංගධරයෙක් සම්බන්ධව ලිපියක් පළව තිබීම..ඒ වසන්ත කොටුවැල්ල මහත්මයා සම්බන්ධව..සාමාන්‍යයෙන් පිදිය යුත්තන් පුදන්නට හුරුව සිටියත්, මේ අවස්ථාවේ ඔහුව මහත්මයෙක් ලෙස හඳුන්වන ප්‍රධානතම හේතුව තමයි චන්දන සහෝදරයා විසින් සඳහන් කොට තිබෙන "සිහිනයකි රෑ" වැඩසටහන නැරඹීමෙන් පසුව ප්‍රේක්ෂකයෙකු ලෙස මා හඳුනාගත් වසන්ත කොටුවැල්ල තුළින් ප්‍රකටවන, තවත් මනුෂ්‍යයෙකු වශයෙන් මා අගය කරණ ගුණාංගයන් කිහිපය..එකක් ඔහුගේ කෙළින් කතාව..ඒ හැරුණුවිට නිහතමානීත්වය, පරිණතභාවය සහ මනුෂ්‍ය චෛතසිකයේ ස්වභාවය පිළිබඳව ඔහුට ඇති අවබෝධය..ඒ ගුණාංග මා ප්‍රිය කළ රංගධරයා යටපත් කරගෙන නැගිසිටි බව නොකියාම බැහැ..



හිස් කළ හඬ නගන, විපරීතයන්ගෙන් ගහණ කලා ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රවීණයන් සැඟව යෑම අවංකවම කණගාටුවට කරුණක්..අනික් අතට එවන්නන් සොයායෑම ගැන වැඩසටහන් නිෂ්පාදකවරයා ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලයට ස්තූති කළ යුතුමයි..ඒ හා සමානවම මෙවන් වටිනා ලිපි සම්පාදනය කරන චන්දන ගුණසේකර සොයුරාටත් අපේ ප්‍රශංසාව නිබඳවම හිමිවිය යුතුයි..

Monday, October 19, 2015

හැපී මැරී නොමැරී - 3 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1වෙනි කොටසට
2වෙනි කොටසට


6වෙනි දර්ශනය
------------------
කැමරාව තද නිල් පාට අහසේ ඉඳන් හිමීට පාත්වෙන්නේ පාට පාට සෙල්ලම් කූඩූ, ස්විමින් පූල්, ඉලෙක්ට්‍රික් කාර්, මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා ආදී එකී මෙකී නොකී දෑ ඇති තීම් පාක් එකකට..ඊටපස්සේ කැමරාව පස්සට ඇවිල්ලා තීම් පාක් එකේ දොරකඩ, අව්වේ සැරට ඇස් හීනි කරන් ඒත් ෆුල් සූට් එක ගහන් ටයි පොල්ලකුත් එල්ලන් බලන් ඉන්න ගුර්ව පෙන්නන්නේ ඔහුගේ පිටිපස්සෙ ඉඳන් බලන විදියටයි..ගුර් වහාම ස්මාට් ෆෝන් එක ඇදලා අරන් නෝට් එකක් චෙක් කරගන්නව නම හරිද කියලා..ඊටපස්සේ කඩන් බිඳන් ඇතුලට ඇවිදගෙන යනවා..කොච්චර කතුරු ඔන්චිල්ල කැරකුණත් කිසිම වගකිවයුත්තෙක් නම් නෑ වගේ නිසා කර දික් කරකර වේගෙන් ඇවිදගෙන යද්දි එක සැරේටම පොලිස් සයිරන් එකක් ඇහෙනවා..ගුර් නිකන් හොරෙන් කෂිය පෙරපු එකෙක් වගේ බලද්දි පොඩි ළමයි පදින ජාතියේ පොඩි පොලිස් බයිසිකලයකින් සයිරන් දාගෙන එන වයස පාට අස්පට් ඩයල් එකක් 'සර්-රෙන්ඩ සර්-රෙන්ඩ' කිය කියා කෑ ගහගෙන ගුර් පස්සෙන් පන්නන්න ගන්නවා..ගුර් පිටිපස්ස බල බල දුවගෙන ගිහින් ලොකු පත කුළුණක හැප්පෙනවා..නහයෙනුත් පහළට වැටිච්ච ලොකු අටපට්ටම් කණ්ණාඩි දෙක හදාගෙන උඩ බලද්දි ගුර් දකිනවා ඒ කුළුණක් නෙවෙයි නීල මහා යෝධයා වගේ සයිස් මිනිහෙක් බව..තමන්ගේ ඇඟේ මිනිහෙක් හැප්පිච්ච බවක වගක්වත් නැතුව මේ යෝධයා අර පිස්සු සයිරන් කාරයට බැණලා එලෝනවා..සයිරන් කාරයා යන දිහා බලන් ඉන්න යෝධයට ගුර් කකුලේ ඇඟිලිවලින් ඉස්සිලා කට අතින් බාගෙට මුවාකරන් හයියෙන් 'හලෝ..; කියන්නේ හරියට පුංචි කාලේ යෝගට් කෝප්ප ෆෝන් වලින් කතා කළා වගෙමයි..මිනිහා නුරුස්නාවෙන් වගේ 'මොකද්ද කෙරෙන්න ඕන' කියලා අහන්නේ මූණේ හිනා කඳුළක්වත් නැතුවයි, හරියට ලංකාවේ දෙපාර්තුමේන්තුවල පියන් මහත්තයෙක් වගේම තමයි..

"මේ..මට කරුණාකරලා කියන්න පුළුවන්ද අන්ඩ-වර්ල්ඩ් එක කොහෙද කියල" ගුර් ඒ ගමන හඬ බාල කරලා අහන්නේ වට පිටත් බලලා ලේන්සුවෙන් නළලේ දාඩිය පොකුර පිහිදගන්න ගමන්...

යෝධයා සිද්ධාලේප වෙද මහත්තයා වගේ ගුර්ගේ හිස් මුදුනේ සිට දෙපතුල යනතෙක් උඩ පහළ බලලා හ්ම්ම් කියලා අතින් සංඥාවක් කරගෙන ඉස්සරහට යනවා..

Sunday, October 18, 2015

වෙඩි තබනු ලැබේ!

මුල් කාලේ
-----------------
සායමුත් එපා, කොට ඇඳුම් එපා
හිර ඇඳුම් එපා, හැඩ වෙන්න එපා
චාම් වෙන්න මම ආදරෙයි..

ඊට පස්සේ
---------------
කවුද අරූ තෝ එක්ක හිනාවෙන?
මොකද තමුසෙ ලයික් කළේ උගෙ එකට?
මොකාට පේන්නද තමුසෙ ඔය
හිර කරලා ඇඳගෙන වනවනා යන්නේ?
මොකද ඔය හැටි නහස්තිය සල්ලි
කඩනවද ගස්වලින් වැවෙනවද වැල්වල?

පහුපහුවෙද්දී
-----------------
කවුරු දන්නවද තෝ මොනවා කරනවද
එහා කෑල්ලේ එකෙක් පස්සේ වැටිලලු නේද?
නිකන් එනවද පිරිමි, අකමැතිම නම් ගෑණු
තමුසෙත් යන්න ඇති පැනලම දෙන්න ඕකුන්ට

එක ඉර පෑව්ව දවසක
-----------------------------------
ඔව් ඔව් මම අද පැය 8ම හිටියේ නිදි වැදි වැදි
ඇයි තමුසෙගේ කරේ තඹ පාට කෙස් ගහක්?
හිර කරලා ඇඳගෙන වන වනා ගියේ අද
මොකද තමුසෙගෙ ෆෝන් එක හංගගෙන
හෙට යනවා මම ෂොපිං හම්බුණා බෝනස්
බුරන්න අයිතියක් නෑනේ මේවා මම හම්බුකරපු මගෙ සල්ලි
ෆෝන් එක බිසී ඔව් මම මල් කැඩුවා
තමුසේ කාටද චැට්වල තොත්තු දුන්නේ දිගට හරහට?

                                      -අද වෙඩි තැබීම මෙතෙක් කල් වෙඩි කෑව එකීගෙන්



ඔව් සැර කයියක් නම් තමයි..ලියවුණේ නුවර කුමාරිගේ මෙන්න මේ කයිය හින්දා..


Friday, October 16, 2015

විරහි පෙම

නුඹ ගියත් නුඹ නොදැන
තවම නුඹ මම ලඟම
සඟවාන මුලු ලොවට
විඳිමි මම විරහි හිත
උණුහුමක් ගෙන එන
ප්‍රේමයකට නොවන
මිදුණු ලෙංගතුමක
මම දකිමි ප්‍රේමය..
නුඹ නමට ඉපැදුණු
නුඹගෙන්ම රිදවුණ
නුඹ ගොහින් කල් ගෙවීත්
තවම මා ලඟ රැඳෙන..
කලෙක ගෙත්තම් කළ
සිහින නුඹ හා දුටුව
වියැක කල්ගෙවී'මුත්
සෙනෙහෙ වියපත් නොවන
නුඹට නොව නුඹෙන් ලද
විරහවට පමණමය
මා හිතේ ප්‍රේමය
කිසිදාක නොමියෙන...


ප්‍රස්තුතය ආවේ මෙන්න මේ පෝස්ට් එකෙන් 

Friday, October 9, 2015

හැපී මැරී නොමැරී - 2 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1වෙනි කොටසට

4වෙනි දර්ශනය
------------------
දිලිසෙන කැට කැට වැල් තිරයක් දැම්ම දොරකින් කැමරාව ඇතුල් වෙනවා.හැබැයි වටේ රූප පේන්නේ බොඳවෙලා..බොඳ වුණත් ඒවයි තියෙන රත්තරන් පාට තමයි ප්‍රමුඛ වෙන්නේ..මිනිස්සු කඩිනමින් එහා මෙහා දුවනවා පේනවා..ඒ සෙනග පීරගෙන ගිහින් නවතින්නේ සංගීත් රාත්‍රියක..නටන වයන සෙනඟ පීරගෙන ගිහින් කැමරාව නවතිනවා සුදු සරුවාලයක් ඇඳගත්තු කොණ්ඩේ වැක්ස් කරලා පස්සට පීරපු උස පිරිමි රූපයක් ලඟ..නැවතුණහම හරියට පිටට තට්ටු කලා වගේ ඒ රූපේ හැරෙනවා...කවුද?




Friday, October 2, 2015

වීදුරු මාංචු

මට චිත්‍රපටි පිස්සුවක් තිබ්බා තමයි.හොලිවුඩ් බොලිවුඩ් ඔය කොයි වුඩ් බැලුවත් තිරයේ පතිතවෙන දැවැන්ත වීරයා දිහා අනික් උන් වගේම මමයි ඉලන්දාරියයි බලන් හිටියේ හක්ක බිම වදිද්දි.වීරයා හද්ද කළුවරකත් අව්කණ්ණාඩි දාගෙන ඉඳලා මතුවෙද්දි, ඇඟේ මයිල් කෙලින් වෙන මියුසික් කෑල්ලක් එක්ක හැප්පුණොත් විසිවෙන තරම් අයෝමය උරිස් වනාගෙන ඉස්සරහට එද්දි හැම කොල්ලෙක්ම වගේ මොහොතකට අන්න අරම වෙයන් කියලා හිතුණේ නෑ කියන්න බෑ.අපිට නම් මේ ජීවිතේට ඇඟිල්ලකින්වත් අල්ලන්න බැරිවෙයි කියලා හිතෙන තරම් පට්ට ලස්සන ඒත් බාගෙට වගේ ඇඳගත්තු සුරංගනාවියෙක් බේරගන්න කොල්ලා කන කට්ට දැක්කම ගමේ කාස්ටකේට පිච්චිච්ච කෙල්ලෝ අතරේ හරි එහෙම වීරයෙක් වෙන්න ඉලන්දාරි හිතේ ආසාවක් ඇතිවෙන්න බැරිද?ඕවා හැම කොල්ලටම හිතුණට අපි අපිවත් ප්‍රසිද්ධියේ කතා නොකළේ පොඩි හීනමානයක් වගේ ගතියකුත් නිසාය කියලා අපිට නොතේරුණාමත් නෙවෙයි..ඒත් මගේ හීනවලවත් ඉලන්දාරියගේ හීනවලවත්  හංසමාලි එක්ක වීරයෙක් වෙන දර්ශන තිබ්බේ නැත්තේ නෑ..

ටික කලක් යනකොට අහම්බෙන් සෙට් වෙච්ච වුඩ්වල වෙනමම වීරයෝ වීරවරියෝ සෙට් එකක් නිසා හීනවලින් එළියට බැහැලා ඇත්ත ලෝකේ විඳින්න පුළුවන් දේවලුත් තියෙනවා කියලා අපි දැනගෙන වැඩිකාලයක් නෑ..වීරවරියෝ නැතුවත් අපට වීරයෝ වෙන්න වෙනම මාර්ගයක් පෑදිලා තියෙද්දි ආයේ මොකට ගැලරිවල විසිල් ගහන්න යනවද කියලා හිතලා අපි 'වැල' වගේ බලන්න ගත්තේ එච්චරටම රහ නිසා..ඩොංගල් රීලෝඩ් කරන් බාගෙන වටේ හැමෝටමත් දීගෙන බැලුවට ඒවයෙන් ඉගෙන ගත්තුවා හංසමාලිටවත් කරන්න නම් හිතේ බයක් තිබ්බා.. 

Wednesday, September 30, 2015

හැපී මැරී නොමැරී - 1 වෙනි කොටස (Happy-Marry-NoMarry)

1 වෙනි දර්ශනය:
-------------------
පසුබිමින් ඇහෙන්නේ ට්‍රම්ෆට් වාදනයක්..කැමරාව විශාල සුදු බිත්ති තියෙන කාමරයක හෙමින් වටයක් කරකැවෙනවා...විධායක ශ්‍රේණියේ පෙනුමක් තිබෙන මේ කාමරේ එක පැත්තක මිල අධික චිත්‍රයක් එල්ලලා තියෙනවා, පාට ගැලපුණු ඉරි රටා අමුතු හැඩතල තියෙන චිත්‍රයක්..අනික් බිත්තියට වෙන්න විශාල මහෝගනී පාටැති මේසයක්..මේසය උඩ එක දූවිලි බිංදුවක්වත් නැහැ..ඇපල් ලැප්ටොප් එකක්..පිළිවෙලකට අඩුක් කල පාට පාට ප්ලාස්ටික් ලිපිගොනු කීපයක්..වීදුරු පෑන් රදවනයක් සහ වටිනා පෑන් කීපයක්..එක පෑනක් කොපුව ගලවලා දිග හැරිය ලිපි ගොනුවක් උඩ, ලොක්කෙක්ගේ වගේ පේන අමුතු ආරේ අත්සනක් ඉවර කරලා එහෙම නැවතිලා..තව හීරිමක්වත් නෑ වගේ පේන අලුත්ම පාට වීදුරු පේපර් වේට් එකක්..පුංචි කිරිගරුඬ ඕනමන්ට්ස් කීපයක්..රත්තරන් පාට දම්වැලක් තියෙන සුදු රවුම් මූණතක් තියෙන පොඩි ඔරලෝසුවක්..චිත්‍රේ තියෙන බිත්තියට විරුද්ධ පැත්තේ බිත්තිය විශාල වීදුරු ජනේලයක් ඒකෙන් කාර්යබහුල මුම්බායේ සෑහෙන්න කොටසක් පේනවා....මේසය තියෙන බිත්තියත් චිත්‍රෙ බිත්තියත් එක්වන මුල්ලේ ෆයිල් කබඩ්ස් දෙකක් ඒවත් මේසේ පාටටම ගැලපෙන තද මහෝගනී පාට..එකක් උඩ සුදුයි කලුයි කැට කැට තියෙන මඩ පැල්ලමක්වත් නැති ෆුට්බෝලයක්..තව පුංචි කාර් මොඩ්ල්ස් කීපයක්..වියලි දර කොට කෑල්ලක රැඳෙව්ව හොඳ පෙනුමක් තියෙන මල් සැරසිල්ලක්..

ඔය ඔක්කෝම බලන අතරේ ඇහෙනවා ෆෝන් එකකින් නොම්මරයක් ඩයල් කරන සද්දේ සහ මේ සංවාදය...
"හෙලෝ.."නිදිබර පිරිමි කටහඬක්..

"හෙ..හෙලෝ...රාම්..?" මේ පැත්තෙන් ඇහෙන පිරිමි කටහඬේ පොඩි නොසන්සුන් ගතියක්..

"ඉයා..?"

"රාම් මම ගුර්වින්දර්.." එහෙම කියද්දි කැමරාව මේසෙට පිටුපාලා තියෙන විශාල කළු විධායක පුටුව වටෙන් කැමරාව ගෙනියනවා...ඒ ඉන්නේ අපේ ප්‍රධාන නලුවා..ෆුල් සූට් ගහලා ලොකු හතරැස් පට්ටම් තියෙන කණ්ණඩි දෙකක් දාගත්තු ඉවාන් පවුලූෂා..

"ගුර්..හූ?" ගුර්වින්දර්ගේ මූණ ලැජ්ජාවෙන් ඇකිලෙනවා..විශාල පුටුවේ රිදී වත තදින් අල්ලගන්න ගුර්වින්දර් මේසෙට බරවෙනවා..

"ගුර්වින්දර් වර්මා..ම්ම්..අර පීප්ප ගුර්..ගුර්...අ..ම්ම්..ෆුට්බෝල් ෆීල්ඩ් එකේ වැටිලා කලිසම ඉරුණ ගුර්..."

"හහ් හහ් හා අරේ...ජංගි ගුරා....හව් ආ යූ බ්‍රෝ..සෑහෙන කලකින් නේද?"


"එහ්..හා හා..ඔ.ඔව් මට කතා කරන්න බැරිවුණා කාලෙකින්..මචං ඇත්තටම මම කතා කළේ පොඩි ආරධනාවක් කරන්න..මම බඳිනවා..." කියන ගමන් ගුර් ප්‍රේමණීය හිනාවක් පා කරනවා මේසේ උඩ තියන් ඉන්න රත්තරන් මෝගල් කැටයමක් තියෙන රාමුවකින් වටවුණ කෙල්ලගේ පින්තූරෙට..ගුර්ගේ හැටියට හිතන්නවත් බැරි මොඩ්ල් කෙනෙක් වගේ සිරා කෙල්ලෙක්..රතු ස්කිනියක් ගහගත්ත සුදුම සුදු කෙල්ලෙක් පෙම්බර හිනාවකින් බලා ඉන්නවා...කොණ්ඩේ හනී-සිනමන් කලර් එකක් දැම්ම කඩා හැලෙන ස්ට්‍රේට් කොණ්ඩයක්..

"ඕ යේ? වට් අ නිව්ස් මචං..හොඳයි හොඳයි.කන්ග්‍රැජුලේෂන්ස්..! "

"තැන්ක්ස් යාර්..ඇත්තටම මම කතා කළේ උඹට පුළුවන් වෙයිද මගේ බෙස්ට්මන් වෙන්න කියලා බලන්නයි.."

එක සැරේම එහා පැත්ත මහ ලොකු නිශ්ශබ්දතාවෙකට පත්වෙනවා..

"හෙලෝ..රාම්..?"

"ආ..මේ..මේකයි ගුර්..මම හිතන්නේ අපි එහෙම ක්ලෝස් නෑ නේ මචං..? ඒක නම්..අමාරුයි..මොකද අපි එහෙම වැඩිය දැන අඳුනන්නෙත් නෑ නේ.."

"අයියෝ නෑ නෑ මචං..ඇයි මතක නැද්ද අර අපි කෑම්ප් ගියේ.."

"අහ් ඒ 6 වසරෙදිනේ මචං.."

ගුර් සෑහෙන්න කැළඹීමකට පත්වෙනවා.."රා..රාම් පොඩ්ඩක් මට බලල කියන්න ප්ලීස් ඔයාට එන්න පුළුවන්ද කියලා.."

එහා පැත්තෙන් ඇහෙන්නේ දුරකථනය විසන්ධිවීමේ සංඥාවක්..

ඊට පස්සේ තව ඇමතුමක්...
මිතුරා : අයියෝ මචං මම උඹට ඉන්වයිට් කලේ නෑ නේ..
ගුර්: අවුලක් නෑ අවුලක් නෑ...ඒක කිසි අවුලක් නෑ...අපිට ඕන ඔක්කෝටම ඉන්වයිට් කරන්න බෑ නේ..
මිතුරා: අහ්  නෑ ඇත්තටම අපි ඕන හැමෝටම ඉන්වයිට් කළා..ඔක්කොම 700ක් 800ක් විතර ආවා..
ගුර්වින්දර්ගේ ඇස් උඩ යනවා...

තුන්වෙනි ඇමතුම:
ගුර්: මම ඔයත් එක්ක හොස්ටල් හිටියේ.මතක නැද්ද බකපුරා? 
මිතුරා: එහ්? මට ආරංචි වුණේ උඹ මළා කියලනේ..හා හා...
ගුර්: න්නෑ මචං ඒ සුන්දර්...මං නෙවෙයි..

ඔහොම ඇමතුම් සෑහෙන්න ප්‍රමාණයක් යනවා..ඒ හැම එකක්ම ගුර්ගේ බලාපොරොත්තු කඩවීමක් එක්ක තමා අවසන් වෙන්නේ...අන්තිම අන්තිම හරිය වෙද්දි ගුර් කතා කරන්නේ පුටුවෙන් නැගිටලා ඒ මේ අත යනගමන්..ඊලඟට කෝට් එක ගලවලා...ඊලඟට වතුර බිබි..ටයි ගැටේ බුරුල් කරගෙන..ඊලඟට ෂර්ට් එකේ අත් නවාගෙන...ඊට පස්සේ මේසේ උඩ වාඩිවෙලා පුටුවට කකුල් තියන්...ඒ හැම එකක්ම අසාර්ථකයි...ගුර්ගේ මූණ හුළං බැහැපු බැලුමක් වගේ ඇකිලිලා යනවා...


Thursday, September 17, 2015

මිහිදන් වන පෙම

ඔබට කවදාවත්ම දැනිලා තියෙනවද හොඳටම විඳින්න නම් චිත්‍රපටියක් බලන්න ඕන මහා පාන්දරක කියලා..නින්ද නොයනකොට නැගිටලා ඇවිත් නිශ්ශබ්ද මහ රෑක කියලා..

එහෙම දැනිච්ච දවසක්..
උණු කෝපි කෝප්පයක් හදාගෙන ඇවිත් චිත්‍රපටි ලැයිස්තුවක උඩ පහළ කීප සැරයක් ගිහින් අන්තිමට නතර වෙච්චි තැන කලින් කීප සැරයක්ම නතර වෙන්න ගිහින් මග ඇරුණු තැනක වුණහම..ඔව් අන්න ඒක තමා අහඹුව..අවුරුදු ගාණකට කලින් හැදුණු චිත්‍රපටියක් වුණත් ඒකට පුළුවන් නම් උණු කෝපි එකකට තරම්  ඔබේ හිත උණුහුම් කරන්න..මම ඒකට මොකද්ද කියන්න ඕන..?

Monday, September 14, 2015

Coming Soon..

හරි එහෙනම් තනියා නැවතත් කරළියේ කිව්වලු.

අර කාලාන්තරේකට කලින් මම පිචෑර් එකක් කොරන්න පොරොන්දු වෙලා  අයදුම්පත්‍රත් කැඳෙව්වා කට්ටියට මතක ඇති නේ? ඒත් ඉතින් මැක්‍රෝ එන්වයර්මන්ට් එකේ කචල් නිසා වැඩේ කල් ගියා.දැන් ඉතින් මැක්‍රෝවට වඩා මයික්‍රෝව ලොකු කරගන්න ඕන කියලා හිතිච්ච එකේ මම හිතුව පිචෑර් එකේ වැඩ පටන් ගන්න.සුපුරුදු ලෙස මේක බොලිවුඩ් ස්ටයිල් වේවි.ගිය සැරේ දිල් පීචං ක්‍යා හේ වගේ එක සීරුවට ලියන්න නම් ඉඩක් ලැබේවිද කියන්න අමාරුයි.ඒත් පුළුවන් පුළුවන් විදියට මේකත් ලියන්නයි හිතන් ඉන්නේ. :)

Saturday, September 5, 2015

රොටී ද? තෝසේ ද?

විභාගයට සතියක් ඇති නමුත් විපිරියාස ලෝකේ සිදුවන දෑ දකින කල විභාගයට යකාටම පලයැයි කියා ලියන්නට ආවෙමිය..

රට වැස්සාගේ පහන් සංවේගයේ තරම දිනපතා ප්‍රවෘත්තිවලින් බේරෙනා හැටියට නම් ඒ පෙරෙන්නේ රෙද්ද පල්ලෙන් නොවන බව කිව මනාය.පඹයෙක් රජවූ කල ඔයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බව යථාකාලයේ තථා අයුරින්වත් මුන්දැලා තේරුම් ගන්නවා නම් හොඳය.ඒත් දැනට වී ඇති හරිය නිසාමද කොහිදෝ සමහරක් යහපාලන ටොයියන්ගේ මුකපූට්ටු වී ඇති බව පෙනී යන්නේය.කුම්බලා මාළු කා පාහරා ගත නොහෙන තැන උන් සමහරක්ට දැන් පක්ෂ දේශපාලනයක් නැත, එක්කෝ විකල්ප දේශපාලනයට ගොහිල්ලාය එහෙමත් නැතිනම් ජාතියේ ගුද සාක්ෂියට එකතුවෙලාය. ඒත් කරුමය වනාහී ඒ තරම් ගුද සාක්ෂිය සාක්ෂාත් කරවන්නට ගොහිල්ලාත් ජවිපේ ඡන්ද ගණන හා මන්ත්‍රීධූර ගණන ගැන විලාප නගන එකය.ඒ හින්දාමද කොහෙදෝ සිරිසේන ගොයියා විලාප අනුරගේ කටට සූප්පුවක් ගසා විපක්ෂ සංවිධායකකමක් දී ඇත්තේය.

Friday, August 21, 2015

කෙටි විරාමයක්

පහුගිය සති කිහිපයේ මැරතන් දිව්වා කාලයත් එක්ක..විභාගයක් අත ලඟටම ඇවිත් තියෙන මොහොතේ ලියන්න තියෙන එව්වා බලෙන් වාරණයට ලක්කරගෙන ඉන්නේ ලබන සතිය වෙනකල්..එහෙම කොරගන්නම බැරිතැනක් ආවොත් ලියැවේවි.

එතකල් නිහඬ නැති කෙටි විරාමයක්..


Sunday, August 16, 2015

ඡන්දදායක අපේ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තවත් මහ මැතිවරණයක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මේ මොහොතේ මෙසේ ලියා තබමි.

ඡන්ද අයිතිය හිමි සිවිල් ජනයා ලෙස ඔබත් මමත් සැබැවින්ම ඒ අයිතිය බුද්ධිමත් ලෙස පරිහරණය කර ඇතිද යන වග විවාදයට තුඩු දෙන්නකි.එසේයැයි ඔබ කියන්නේ නම් සෑම මැතිවරණයකම පොරොන්දු අතරට යහපත් සමාජයක් යන්න එක්වීමේ පිටුපස සැඟවගත් සැබෑ කතාන්දරය කුමක් ද?විශේෂයෙන් සඳහන් කළ යුතුවන විසඳුමක් යෝජනාවන තරමට යමක් සිදුව ඇත්නම් එහි වගකීම සම්පූර්ණ වශයෙන් බැරවියයුත්තේ පත්වන දේශපාලනඥයින්ගේ ගිණුමට ද? නැතිනම් තම අයිතිය ඔවුන් වෙනුවෙන් යොදන අපගේ ද?

අප සැබැවින්ම ඡන්ද අයිතිය භාවිතා කරන්නේ සිහි නුවණින්ද යන්න සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.ශ්‍රී ලංකා වාසි සිවිල් ජනතාව ලෙස අප සිතිය යුත්තේ අපේක්ෂකයාගේ මැතිවරණ පොරොන්දු ලෙස පමණක්ම ද?
එසේ මැතිවරණ පොරොන්දුවලට මුල්තැන දීමෙන් අපට වැරදුණු අවස්ථා ඇත්තේම නැතිද?
සැබැවින්ම අප සිතිය යුත්තේ කට-බඩ ගැන ද ඒ හැර සිතන්නට වෙන යමක් තිබේද?
ඇත්ත වශයෙන්ම සමාජයට භෞතික, සමාජීය, ආර්ථික සහ ආධ්‍යාත්මික වශයෙන් යහපතක් ඉටුකරන්නට දායක වූ දේශපාලනඥයින් කවුද?
ඡන්ද දායකයන් ලෙස ඔබටත් මටත් හෙටින් පසු අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ ලබාදීමේ ලා හැකියාවක් ඇත්තේ කාටද?

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, මාස 8කට පෙර අපි අවසාන වතාවට ඡන්ද අයිතිය භාවිතා කළෙමු.
ඉතින්,
අවසාන ඡන්දයට පෙර අප උන්නේ කොතැනද? 
දැන් අප සිටින්නේ කොතැන ද?
අප යා යුත්තේ කොතැනටද?
උගත් පාඩම් මොනවාද? ඒ ඇයි?

එසේ නම්, අයිතිය වෙනුවෙන් නගන හඬ අරුත්සුන් නොවන්නට, අප වෙනුවෙන් යහපත් හෙටක් තනන්නට, නිදහස් නිවාල් ඒකීය රටකට හෙටක් ගෙනෙන්නට අපේ අයිතිය බුද්ධිමත්ව සහ සිහිනුවණින් භාවිතා කරමු.
අනාගතය වෙනුවෙන් අද අපගේ යුතුකම ඉටුකරමු.




Saturday, August 15, 2015

#Repost : බඩගෝස්තරවාදය

සමහරු මම දේශපාලන පෝස්ට් දැමීම මාකටිං පාරක් ලෙස හිතුව බව පහුගිය කාලේ ලැබුණු කමෙන්ට්ස්වලින් තේරුණා.ඒ කිව්වේ හිට්ස් බලාගෙන ලිවීමක් හැටියට හංවඩු ගැහීමේ උවමනාවක් තිබ්බ බවක් පෙනුණා.අදත් මම කියන්නේ, මේ ලිවිල්ල පටන් ගත්තේ මගේ ආත්ම තෘප්තියට මිසක් මාව මාකට් කරගන්නවත්, තව කෙනෙක්ව මාකට් කරන්නවත් නෙවෙයි.කැමැත්තෝ පිළිගත්වා! නොමැත්තෝ බණිත්වා! මට පාන් ද! 

අවුරුදු දෙකකට විතර කලින් ලිව්ව පෝස්ට් එකක් නැවත පබ්ලිෂ් කරන්නේ ඉහත කී මතයට මෙයිට වඩා දෙන්න හොඳ උත්තරයක් නැති හින්දා.
කැමැත්තෝ බලත්වා! නොමැත්තෝ ස්කිප් කරත්වා! 

කැමැත්තන්ට නොමැත්තන්ට හැමෝටම නිව්ස් එක ආවේ මෙන්න මෙතනින්.


Friday, August 14, 2015

ලියුං කියුං කටිං කෙරුං

I thought of writing this in something similar to පුස්වෙඩිල්ල ස්ටයිල් as it amuses me that much.:D

Once අපෝන් a time in a විලේජ්, there were 2 ගමේ කොල්ලෝස් teams who used to play ක්‍රිකට්.Here one ගමේ කොල්ලා played so well, that මිනිහා was offered ද කැප්ටන්සි ඔෆ් one team නිතරඟයෙන්. In his ටීම් however, was another කොල්ලා from එහා ගමක්.මිනිහා too was an old එකා in the team but not much ජනප්‍රිය or skilled.But he was an අණ්ඩපාලයා too, so never showed how much ඌ envied the Captain ලොක්කා..Instead he always was holding පන්දම් to the Captain ලොක්කා, saying ""ලොක්කා මගේ දෙයියා".

So there was another ටීම් එකක් නොහ්! අන්න that was a නියම team. Their ලොක්කා was a නළුවෙක් නෙවෙයි මොළයක් so he was the unbeaten captain from තොටිල්ල to බොරැල්ල.His වයිස්-කැපා struggled a lot to get a ප්‍රොමෝෂන් එකක් but all his battles were in vain නිකං. So this මොළ ලොක්කා was very much in disgrace as they were beaten continuously by the Captain ලොක්කා's team ආයේ ඇපත් නැතිවෙන්න.So this මොළ ලොක්කා for the second match, decided to දෙන්න බැටේ මෙදා සැරේ and brought පහළ ඇළේ කිඹුලා මැරූ කොල්ලා සරත් who was well-known for පොල්-අඩි, into the team and challenged the Captain ලොක්කා..Captain ලොක්කා was so cool like Arjuna අයියා @ 1996 World Cup and let සරතා to open his culvert mouth as much as he could, knowing it would make him තාර බිත්තරේට අවුට් වෙන්න. So that match was වැඩක් නෑ..

Wednesday, July 22, 2015

සුලඟ සහ පිස්සෝ

කලකට පෙරාතුව කොළොම්තොට සමීපයෙහි එක්තරා මගක මානසික ව රෝගී වූ පුරුෂයෙක් වාසය කළේය.මේ පුරුෂ තෙමේ මෙලෝ සම්මත කිසිදු ක්‍රියා පිලිවෙතක් කෙරෙහි සංවේදී නොවන්නේ, හැටට හැටේ පාගා යන්නට හැකි, එකල අලි නෑ විල්වලින් බහුල වූ අතුරු මාවතෙහි විශාලතම මඩ විල අසල කළු පැහැති රෙද්දක් එලා මුණින් තලාව වැතිර හොත්තේ, දෙපතුල් ගුවනට හරවා ගෙන වනන්නේ, වැලමිටි බිම හොවා වාරු ගෙන 'හයිලන්ඩ්' යෝගට බඳුනක් සිත්සේ තලුමර මරා කන්නේ, පාර මධ්‍යයේය.එතැනින් යනෙන කිසියම්ම රියසකක් ඇත්නම් ඔහු බේරා ප්‍රවේශමෙන් යා යුතුවන්නේ රථාචාර්යන්ගේ මුවින් නිබඳ සිය පරලෝ සැපත් දෙමාපියනටත් සතර වරිගයාටත් පුණ්‍යානුමෝදන් කරවා ලූ යේය.එසේවතුදු, ඔහුට එහි වටිනාකමක් හෝ හරයක් නොවන්නේය.සිඟාලු මුදලින් යෝගටයක් මිලට ගන්නේ ඒ සුවපහසුවට සැතප අනුභවයට මිස රියසක් පදවන ජනපද කල්‍යාණියන්ගේ පුත්‍රයින්ගේ සුව පහසුව තකා නොවන බැව් හෙතෙම නලා හඬකට නො එසවෙන නෙතිනුත් මන්ද්ස්මිතයක් පැතිරූ උවනිනුත් මනාව ප්‍රකට කලෙහිය.

ඒ වනාහී යටගිය දවස කොළොම්තොට නුවර කථාන්දරයයි.නූතන යුගයට ප්‍රවිශ්ට වෙමු.

Tuesday, July 14, 2015

විරහව..

හිත පහුරු ගාගෙන
හොරහොරෙන් එබෙනකොට නුඹ..
වැලලුණු හීන සුවඳක්
උණනවා තවම හිත් කොණක...
මතක පෙල ගැහී දිගට
මතුවනාවිට හිත් තලට..
හැරී දුවනවා තමා ආයෙම
වැරදෙන්න පටන් ගත් තැනට...
හාදුවකට හැකි තමයි
දිගු නින්දකින් ඇහැරන්න..
සාපයක් හරවන්න
හාදුවක් බර මදි නැද්ද?
ඒ නිසා නුඹ ඔහොම
හිත් කොණක ගුලිවෙන්න
මුළු හිතම දෙන්න බෑ
ආයෙමත් රිදවෙන්න...



Friday, July 10, 2015

ආටාවෙන් වේදිකාවට..

කාලෙකට පස්සේ ලියන්න දෙයක් හිතමින් ඉන්නකොට අද සිකුරාදාවකුත් වූ නිසාවෙන් චිත්‍රපටියක් බලන්න, සිංදුවක් අහන්න පටන් ගත්තා..බොහෝමයක් සැරයක් මග ඇරුණු චිත්‍රපටියක් තිබ්බා "රාම් ලීලා".අද ඒ ගැන ලියන්න බලාපොරොත්තුවක් නැතත් ඔය චිත්‍රපටියේ බොහොම සුළු කොටසක තිබ්බ ගීතයක් හොයන්න ගිය නිසා හොයාගන්නට ලැබුණු වෙනත් කතන්දරයක් ගැන ලියන්න හිතුණා..

අපේ අසල්වැසියා ආකල්ප අතින් සහ දේශපාලනමය අතින් කොයිතරම් පහළ මට්ටමක උන්නත් ඔවුන්ගේ මම අගය කරන සහ රස විඳින එකම එක දෙයක් තිබෙනවා..ඒ ඔවුන්ගේ සංගීතය සහ ගායන නර්තන හැකියාවන්.මම හිතන්නේ අපේ රටේ උත්සවවල පට්ට ගහන්න තරම් නිර්මාණ හදන ඔවුන්ගේ ඒ නිර්මාණවල තිබෙන තත්වයට නැත්නම් කොලිටියට එන්න නම් අපට හැකිවෙලා නෑ..ඒක ඔවුන්ටම අනන්‍යවූ කලාවක්.ඒ වගේ ඉල්ලුමක් තිබෙන, තරඟයක් තිබෙන ක්ෂේත්‍රයක යම් තැනක් ලැබීමත්, පිළිගැන්මට හෝ ජනප්‍රියත්වයට පත්වීමත් මම හිතන්නේ වාසනාවක් තිබිය යුතුම දෙයක් කියලා.අපේ රට වගේ කීපගුණයක් විශාල ඔය රටේ අහුමුළුවල වැලලිලා හැංගිලා ගිය දක්ෂයෝත් අනන්තවත් ඇති, සමහර විට දුප්පත්කමටම යටපත්වෙලා, ඒත් නැතිනම් නිසි මග පෙන්වීමක් නැතිකම හෝ එවන් මාර්ගයකට අවතීර්ණවෙන්න බැරිවීම නිසා.

Wednesday, July 8, 2015

නික්මන

නුඹෙන් සමුගෙන
සෙමෙන් පියමැන
ඉතින් මම යන්නම්..
එකම වරකට
නුඹේ නෙත් මත
ඇදුණු රුව දැක
ඉතින් මම යන්නම්...
නුඹට පෙරදින
බැඳුණු සෙනෙහස
සිතේ සිරකර
සුසුම් නොහෙලා
කඳුළු නොසලා
නුඹේ රුව නෙත් 
        පතුලේ රඳවා
ඉඳින් පියමැන
දුරස් වෙන්නම්..,
එකම වරකට
හැරී නොබලා
නුඹේ ප්‍රේමය 
රැගෙන දෝතින්
ඉතින් මම යන්නම්...






Friday, June 19, 2015

තණ්හා ආශා

කාස්ටකේට ඉර අව්ව..

ඉස්කෝලේ ඇරිලා වෙලේ පාරෙන් ආවේ අම්මාගෙන් කයි බත් කටක් කවෝගෙනම යන්න.බැත නැවිලා, හංසයොත් නැවිලා..රටාවට කපාගෙන කපාගෙන යන ගොයම් බරෙන් මිදුණම කෙතකට වුණත් නිස්කාංසුවක් ඇති නේද?

"ආ..මොකෝ පුතේ?" කොරටුවේ ගෙදර නැන්දා කාටත් කරුණාවයි.මම හිනාවෙලා කර දික් කරකර හෙව්වේ අම්මව..

"උඹ අම්මවද හොයන්නේ? අම්මා ගෙදර ගියා පුතේ..හිටිං ඒකිගේ කයි බත් පංගුව ඔතලා දෙන්න" නැන්දා දඩිබිඩියේ අනික් පැත්තේ නියරට ගොඩ උණා..

"ඇයි නැන්දේ අම්මා..හදිස්සියේම..ගෙදර?" මට අහේතුක බයක් දැනුණා.ගොයම් කැපිල්ලෙන් ලැබෙන වී මල්ල ගැන අම්මා හිටියේ සෑහෙන්න බලාපොරොත්තු පුරවන්..එහෙම එකේ ආ පයින් ගෙදර ගියේ..

"හදිස්සියක්ම නෙවෙයි කොලුවෝ..උඹලගේ ගහේ තව වැල වරක හැදෙන්න ඉඩ තියෙනවායි කියන්නේ" කොහොමත් බෝක්කු කටක් තිබ්බ හාමිනා නැන්දගේ කතාවට අනික් නැවිච්ච හංසයෝ සමහරක් නැවිලාමත් අනික් උන් ඉද්ද ගැහුවා හේ කෙලින් වෙලත් කැකිරි පලන්න තියාගත්ත හැටියට නම් මට හිතුණෙම උන්දැගේ බොල්ලෑව බඩට යන්න අනින්න..!

"මොනවද බං මේ කිරි සප්පයන්ට කියන නොසණ්ඩාල කතා..ආ පුතේ අරන් පලයන් මේක..අම්මට කියපන් ගොයම් කැපිල්ලට නාවට කමක් නෑ වී ඩිංගක් එවන්න ඇහැකියි කියලා" කොරටුවේ ගෙදර නැන්දා අන්තිමට ටික කිව්වේ නම් හඬ හොඳටම බාල කරලා..උන්දැ එහෙමයි..

Wednesday, May 27, 2015

උණුහුම (ඇ/නැ)ති

අහස් ගඟ නොනවත්වාම ඇද හැලෙන කොට
පාර බලාන
උණුහුමට ගුලිවෙලා සැපට
දුම්දමන කෝපි පොදක්
තොලගගා ඉන්නකොට
මම..
සියොලඟම තෙමී
ගුලිවෙලා ගැහෙමින්
පිල්කඩක් උඩ 
උණුහුම හොයන
නුඹ..
දෙනෝදාහකගේ කුණුකන්ද 
සෝදාගෙන ගලා යන වතුරට
ඇස් යොමාගෙන භාවනා කරන..



Monday, May 25, 2015

මාරක ෂොපිං සහ මගේ 100

කාලේකට පස්සේ මට හිතුණා මගේ බයිට් කතාවක් ලියන්න ඕනි කියලා..මෙව්වා මෙගා බයිට්-මගේ බයිට් කියලා වුණත් හිතාගන්නට ඇහැකි ඕන නම්..

ඔන්න පින්වතුනි, ගැහැණු උදවියගේ ෂොපිං යෑම ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවයැ නේද? විවාහක-අවිවාහක, තරුණ-මහළු භේදයකින් තොරව සියළු (නෑ මම හිතන්නේ බහුතරයක්) ගැහැණුන්ගේ ඇස් කාන්තිමත්වෙන්න හේතුවක් තමයි ෂොපිං කියන්නේ (උර එහෙම නෙවෙයි හරිය!).ඔන්න ඉතින් තනියාටත් ඉතින් වෙනසක් නෑ ඕකේ..මහ රාත්තිරිය වෙනකම් හරි කඩ ඇරලා තියෙනවා නම්, ණය කාඩ් එකේ හරි කමක් නෑ සල්ලිත් තියෙනවා නම්, නොයෙකුත් වෛවාරණ ඇඳුම් සපත්තු අරව මෙව්වා අතගාල මිරිකලා ඇඳලා බලලා හරි සැනසෙන්න තියෙනවා නම්, ප්‍රයිස් ටැග්වල අග බිංදු එහෙම කොහේහරි හැලිලා නැතිවෙලා යනවා නම්...හප්පේ...තව මොනවද ඉතින් එහෙනම්..!




ඉතින් ඔන්න ඔය හැම අවුරුද්දකම අවුරුදු කාලෙයි නත්තල් කාලෙයි අපි අනිවාර්යෙන්ම යනවනේ ඔහොම සවාරි..ඔය හැමෝම දන්නවා ඇති නෙව SLECC එකෙත් නිතරම වගේ ඔහොම සේල් තියෙනවයි කියලා.ඒ අවට ඔෆීසිවල බවලත් උදවිය ඕවට දුවන්නේ හරියට හෙළුවෙන් ඉන්නැහේ!හැබැයි ඉතින් ඕවා නමට සේල් ඈ! මොකෝ ඉතින් වෙන අහක රුපියල් 200ක් විතර වෙන චීත්ත සංගියක් වුණත් ඔතැන රුපියල් 400ක් විතර වෙනවා..ඒ වුණාට ඔය ආරුක්කු බූරුක්කු අතගාමින් හැඩ බලමින්, බූන්දි ටිකකට එහෙම වග කියමින්, (ආ..මතක ඇතුව දොරෙන් එළියට එද්දිම තියෙන අච්චාරු කඩේටත් යන්න ඕන..) හැප්පි හැප්පි ෂොපිං කිරීමේ වෙනම ආතල් එකක් තියෙනවා පුරුෂ පක්සෙට නොතේරෙන..ඒක නිසා දැන් ඔන්න මායි, අපේ නගායි, අම්මයි තුන්දෙනා ඔය විසාල සේල් පොලට රිංගා ගත්තා..

Monday, May 18, 2015

වීරයෝ

ජාතක කළ දෙමව්පියන්ට ශාප කරන අළුත් පරපුර, ඉපිද හැදුණු වැඩුණු මව්බිමට ගරහන අළුත් පරපුර, ලැම්බොගිනි ඉල්ලා හඬාවැටෙන අළුත් පරපුර,
රටට පලක් ඇති යමක් නොකොට බුල් කෙලින අළුත් පරපුර
ගණිකාවන්ට, කුඩ්ඩන්ට, බල්ලට ගිය අළුත් පරපුර..
කොහොම හොටු හූරන් ඇඬුවත් තොපි වීරයෝ වෙන්නේ නෑ අපිට..!

ඇවිද සැතපුම් සිය ගණන් දරන් බර අවි තොගය
වෙහෙසට පියන්නට නොහෙන ඇසිපියක් මොහොතකට
සිහිවුණත් අඹු දරු දුවන්නට නොහෙන
තමා වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් නැසුණ
සටන අත්නොහළ අවසාන සුසුම හෙලනා තෙක්ම
කොයිතරම් තිබෙන්නට ඇතිද හිතේ දේවල් කියන්ට..
මියෙන්නට පළමුව වරක් ආදරය විඳින්නට..
තවෙකෙකුට රැකගන්න අතපය සතර
කැපකිරීම් කොපමණද ගණින්නට නොහෙන
කොයිතරම් සාප කරන්නට තිබුණිද එහෙනම් උඹලාට..
මනුෂ්‍යත්වයේ නාමයෙන් අමනුෂ්‍යයන් හා සටන් වැද
සදා නොමියෙන සිහ පුතුන් උඹලා ය!


Saturday, May 16, 2015

ෂාජහන්ගේ කතාව

සබැඳිය..

නිශ්ශබ්දයි හැමතැනම...
මතක ඇති කාලෙක ඉඳන් මම ආසා කළේ නිහඬකමට..ඒත් මේ නිහඬකම වගේ එකකට නෙවෙයි...මේක මට නුහුරුයි..

ශෂී ඉන්නකොට ගෙදර නිශ්ශබ්ද නෑ..මම හැමදාම කළේ ඒ තොරතෝංචියක් නැති ගීතමය හඬ අහන් ඉන්න එක..අතීතේ, වර්තමානේ, අනාගතේ ඒ ඔක්කොම ගැන එකපාර කතා කරන්න පුළුවන්කමක් තිබ්බ මම දැනන් හිටිය එකම ගෑණි ශෂී..ලස්සනට නැලවිලි ස්වරයෙන් කතා කර කර ඉඳලා එක් සැරේම විප්ලවකාරියෙක් වෙන්න තිබ්බ මේ ගෑණිගේ හැකියාවට මට පුදුම නොවී ඉන්න බැරිවුණා..මුල් කාලේ මම ඒ පුදුමේ පිට දැම්මා "කොහෙන්ද ඔයාට ඔය වචන එන්නේ?"..සුදු රතු සීනි සුරුට්ටුවක් වගේ බීම බටේ අතෑරලා හීනි කට හැදුව තාලේට මම දැනගත්තා පොල්ලෙන් ගහන්නා වගේ "කටින්" කියන බව..එහෙම කියලා මහ හොර වැඩක් කළ පොඩි එකියෙක් වගේ හිනාවෙන බව...

කාලෙකට කලින් ශෂී කිව්වා එයා කොහෙදෝ මන්ද කියෙව්වා කියලා ගෑණියෙක්ට භද්‍රකාලි අම්මා වෙලා ලෝකේට පිහිට වෙන්න වගේම සොහොන්කාලි අම්මා වෙලා විනාශය ගේන්නත් පුළුවන් කියලා..එහෙම කිව්වේ අපි හවසක ඔහේ ඇවිදන් යන වෙලාවක..මම ඉතින් ඔළුව වනලා නිකං හිටියා..එයා කියන සමහර දේවල් ගැන මගේ ලොකු උනන්දුවක් නැතිවුණත් ඒ හඬ උස්පහත්වෙන, මුහුණේ භාවයන් වෙනස්වන හැටි බලා ඉන්න එක හරි අපූරු අත්දැකීමක් වුණා මට..මෙච්චර කාලෙකට නොලබපු..

මම ආදරේ කළේ ඒවටද නැත්නම් මේ අමුතු ගෑණිටද කියලා මට අදටත් තේරුම්ගන්න බෑ..

Sunday, May 3, 2015

රැජිණිගේ මිණිපිරී!

කාලෙකට පස්සේ ගොඩවුණා මූණු පොතට..ඔහෙලට කියන්න ආයිබොංඩ ..ආයිබොංඩ නේන්නම් වටින්නේ..රැජිණක් පහළ වෙච්චි එක ලේසි පහසු කාර්යක්ද බොලව්..

රැජිණක්?? මොකෝ අර සැටලයිට් වහන්තරාවට රජකමවත් ලැබිලද??

චැහ්! ඒ මොන රැජිණක් ද බං..! එයා නෙවෙයි..! අපේ එළිසබෙත් නෝනා ඉන්නේ බං අර එළිසබෙත් නෝනා..අර මේස් දාන කොට සුදු නෝනා..

ඔව් ඔව්..ඔය කියන්නේ අපේ මේ එළිසබෙත් මහ රැජිණි නේ!! 

ඔව් බං...ආං එයැයිගේ පුතා ඉන්නේ චාර්ලිස්..

චාල්ස් චාල්ස්! චාර්ලිස් නෙවෙයි අනේ චාල්ස්! මොකද්ද අනේ පොෂ් විදියට කියන්නකෝ ගොඩයෙක් වගේ නැතුව..!

හරි හරි..ආං එයාගේ පුතා ඉන්නේ විලියොං..

ආයෙත් කියනවා..! විලියම් අනේ විලියොං නෙවෙයි..!

Friday, May 1, 2015

මිදි යුෂ

කටහඬවල්..සැර ස්ප්‍රීතු ගඳ...දිගු කොරිඩෝවක පසුවන විදුලි ලාම්පු...
තිරස්ව වේගයෙන් ඇදීගෙන මම මේ යන්නේ කොහේටද?
වේගයෙන් ඇදෙන රෝදයක හඬ එක්ක අඩවන් ඇස්වලට එබෙන තවත් ඇස් දෙකක්...මං දකින්නේ අවිනිශ්චිතත්වය ද? කණගාටුව ද? තැවිල්ලක් ද? සිතුවිලි තේරුම් බේරුම් කරගන්නට නොහැකි තරමේ විඩාවක් දැනෙන්නේ ඇයි..? 

"පේෂන්ට්ව තියටර් 1 එකට දාන්න.."

"ඩොක්ට..පේෂන්ට් රෙඩි.." 

පරඬැල් පතක් මෙන් දුබලව වැනෙන මගේ ගත ඔවුනට අවැසි ලෙස හසුරුවා ගන්නා හැටි..මට අයිති නැති මම..

"සිහිය තියෙනවා.."

"දැන් හරි යයි.."

ගිණිකන වැටෙන එළිය මගේ අඩවන් ඇස්වලට නොදැනුණාවත් ද? 

**************************************
ලේ...මගේ ලේ...
කොළ පාට පොරෝනාවල...
රිදී පාට මුවහත් තල මස් කපාගෙන යන හැටි...ඒ රිදී පාට දෝවාගෙන උතුරන රතු පාට ලේ..
ඒත්..මම ඔයතරම් නිශ්චලව වැතිරිලා ඉන්නේ කොහොමද?
නිල් පාට ලෝගුවල නිල් මුකවාඩම්වලින් උඩ රැඳිච්ච කල්පනාකාරී බැල්ම සැරින් සැරේට තිරයකට යොමුවෙන හැටි...

ඒ වැතිරිලා ඉන්න මං දිහා කොහොමද මම මෙහෙම බලන් ඉන්නේ?
රික්තයක වගේ...කිසි හඬක් නෑසී..
නිශ්ශබ්දතාවය බර වැඩියි..

නැහැ...මට මෙතැන ඉන්න බැහැ..මම යන්න ඕන..

Wednesday, April 29, 2015

සයිබරයේ රොටියෙක්!!

බ්ලොග්වලට එන පාරත් මතක නෑ ආයිබොංඩ (තියෙනවා නම්)..ඒවුණාට කාලෙකින් ආවම දැක්ක පළවෙනිම ලිපිය මම හිතන්නේ අර කමියා ලිව්ව මොකද්ද හෙන දඩ වාර්තාවක්..! ඒකේ කොමෙන්ටු ගොඩ ප්‍රින්ට් කොරවගත්තා නම් හදිස්සියකට දහපහලොස් දෙනෙක්ට එලන් නිදාගතහැකි! එච්චර දිග මාගලක් මාත් කියෙව්වා කියමුකෝ..ඒ අස්සේ කවියක් ලිව්ව එකෙක් හිටියා රොටියා බබාද කවුද කියලා..ඕන එකක් කියලා මාත් ගොහින් බැලුවා කවුද යකෝ මේ රොටි බබා කියලා..උන්නැහේ දාගෙන ඉන්නෙත් නිකන් අමුතු පහේ කොමිටෙල් පින්තූරයක් වෙච්චි කොට..

බුවා ලියන්නේ නෝනා මහත්තයා සම්බන්ධ කොරන්..ඒකත් මට හිතෙන්නේ නියමයි කියලා..තාම අපේ ඇක්ටිව් බ්ලොගර්ස්ලට වැඩිය ඇහැ ගැහිලා නැතුවා වාගේ නිසා මම හිතුවා මෙහෙම පෝස්ට් එකක් දාලා රොටියට පොඩි සප් එකක් දෙන්න..කියනවට ගොහින් බලන්නකෝ..මෙන්න පෝස්ට් එකක් කියවන්න..


Saturday, April 25, 2015

ප්‍රේක්ෂකමත විචාරණය



ඔබ සියළු දෙනා දැනටමත් දන්නා පරිදි කටයුතු ඇරඹීමට නියමිත චිත්‍රපටියේ වර්ගය (Genre එක) පිළිබඳ මට කාසියක් උඩ දැමීමට සිදුවෙන තත්වයක් උද්ගතවෙලා තිබෙනවා.ඒ නිසා ඔබගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් සහයෝගය පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබට අවශ්‍ය:
සීරියස් ප්‍රේම වෘතාන්තයක් නම් JW<හිස්තැනක්>1 ද
රොමඩියක් (Romantic Comedy) නම් JW<හිස්තැනක්>2 ද
ත්‍රාසය, භීතිය, ශෘංගාරය කැටිවුණු මසාලා ස්ටෝරියක් නම් JW<හිස්තැනක්>3 ද 
යොදා පහත කමෙන්ට් කරන්න.

විශේෂ:
වෙනත් අදහස් හා යෝජනා ඇත්නම් ඒවාද ඉදිරිපත් කරන්න.



Monday, April 13, 2015

සිතුවම..

කල් අරන් සීරුවට
හැඩ බලා තෙලිතුඩත
පාට ගලපා නේක
ඇඳි සිතුවමකි
මට විරහව..
වැරදීමකින් වැදුණු
සායමකි ප්‍රේමය...




Thursday, April 9, 2015

සීයා වෙනුවෙන්

කතාවක් ඇත
වදන් කරනට නොහෙන
සිතේ පෑරුම තවම
සුව ව නැති නිසා..
ලියන්නෙමි දිනක
නුඹ ගැන මම
අද නොලිව්වාට
දුක වැඩිකමට..

අදට අවුරුදු දෙකකට කලින් එළඹුණු ඒ මූසල අප්‍රේල් 9 වෙනිදාව උදා නොවුණා නම්..අදත් සීයා ජීවතුන් අතර..ලියන්නට පොත් පිරෙන්න දේ ඇතත් ලියාගන්න බැරි හිතක් බරට සිතුවිලි ටික තවමත් රිදුම ඇති නිසා හිතේ...
සීයේ ඔබ උතුම් වී නිවනින්ම සැනසේවා..!එතෙක් සසර මග කොතැනක උන්නද නිදුක් නිරෝගි සුවය සහනය සතුට ලැබේවා! 


Monday, April 6, 2015

මේ අවස්ථාව ඔබේ විය හැකියි!

මෙන්න කලා උණෙන් පෙළෙන, සිනමාවේ ඉවුරු තරණයට පුල පුලා බලා සිටින ඔබට අනගි අවස්ථාවක්!

සිංහල සිනමා වංශ කතාවේ මීලඟ ගාමිණි-මාලනී, විජය-මාලනී, සනත්-සබීතා, ජීවන්-සංගීතා, රංජන්-අනර්කලී ඔබ විය හැකියි!

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, බොක්ස් ඔෆීස් වාර්තා පිහිටවූ අති සාර්ථක "දිල් පීචං ක්‍යා හේ" නිර්මාපක තනියාගේ මීලඟ චිත්‍රපටියේ නළු නිලියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් පත්‍ර දැන් භාර ගැනේ!

Saturday, April 4, 2015

සාතනීය ප්‍රේමය

දෙව් පුත්‍ර වෙස් ගත්
සාතන් නුඹට..
මම පෙම් කෙරූවෙමි
කල්ප කාලාන්තරයක් 
ඉක්ම යන්නට කලින්..
ප්‍රේමයක අඳුරෙන්
වැසූණු කල නෙත
නුදුටුවෙමි දෙව් පුතුන්
සාතන්ලාට ජනිත 
විය නොහැකි බව...
යක් ලෙය මිනිස් රත
නොගන්නා බව වෙසෙසින්ම..
පමා වූ නමුත්
සාතන් ඉතින් මම
දැන් නුඹ හඳුනමි..







Thursday, April 2, 2015

අවුරුදු උල්

අළුත උපන් එකා
ඉර එක්ක තරහට
ගිරියේ සයිරන් එක
ඩීජේ එක පරාදයි..
අහළ පහළ කට්ටියම
කර දික් කරකර බලයි...
'පිස්සුද මන්දා පොඩි උනුත් ගෙනත්'
තුනී සංස්ථා ලෑල්ලක
රතු පාට කටක්..!
තරහා ගන්නත් බැරි තරම්
මට බොහොම වෙහෙසයි..
ඒ ඔක්කොමත් අස්සේ..!
ඒසීයේ ගොරොද්දය
බඩු ලැයිස්තුවත් උදුරන්..!
අම්මාට, තාත්තාට,
මාමණ්ඩීට, නැන්දම්මාට,
අරූට මූට, මූට අරූට
උල් සපත්තුවක ඇමිණිලා
රාක්කයක් ලඟ නතරවෙන..
'අනේ ඒයි අර ලිස්ට් එක'
පුළුවන් තරම් වෙට්ටු දමාන
සපත්තුව පස්සෙන් 
දුවන පෙම්බරාට,
'මේ මොන සමයමක්'ද
සපත්තුව රවන..
'මිස්, මගේ ලිස්ට් එක
පයට පෑගිලා නේද?'
'ආහ්..සොරි, ගන්න'
වැදුණ උල් පහරට
දෙකඩ වුන කොළය
'ඔය ඇති සුදූ අපි යමු
පොඩි එකාගේ කිරිපිටිත්
ඉවරයිනේ අද රෑට..'





පසු සටහන:
කවිය සාර්ථක නැතුවා ඇත.ප්‍රස්තුතයක් ලද නිසා ලිවීමි.

Monday, March 23, 2015

පළවෙනි එක..!

දැන් ටික දවසකට කලින් අපේ දේශකයා ලියලා තිවුණා නේ "පළවෙනි පාර" ගැන..ඕක කියෙව්වම මට මතක් වුණා තවත් පළවෙනි පාරක්..

එතකොට මම පොඩියි..පොඩියි කියන්නේ 2 වසරේ..කලින් "එකා යකා" ලියද්දිත් මම කිව්වානේ පොඩි කාලේ එච්චර එළියට පහළියට බැහැලා සෙල්ලම් කරන්න ලැබුණේ නෑ කියලා..ඒකට ඉතින් සාධාරණ හේතු තිබ්බා හරිය? 

අපේ ගෙවල් ලඟ හිටියා නිමල් කියලා කොල්ලෙක්..ඒ කොලුවා හිටියේ නැන්දා කෙනෙක්ගේ ගෙදර මම හිතන්නේ අම්මා තාත්තා නැහැ වගේ මොකක් හරි නිසා තමයි එහේ නැවතිලා හිටියේ..ඒ ගෙදර නැන්දාගේ වුණාට උන් මේ ළමයට සැලකුවේ වැඩකාරයෙක් හැටියට මිසක් ඥාතියෙක් හැටියට නම් නෙවෙයි..ඒ නිසාමද මන්දා මිනිහා මහාම මහා ඇට්ටරයා..5 වසරේ හිටියට නිකන් 2 වසරේ විතර ඇති උන්දැගේ සයිස් එක..වැඩ ගත්තත් හැබැයි ඒ ගෙදරින් ඒකව ඉස්කෝලෙත් යැව්වා..මම හිතන්නේ ගෙදර තියාගන්න බැරිකමටම වෙන්න ඇති..:D

Thursday, March 19, 2015

ජාතික කොඩි ගීත මක්කටද?

කාලෙකින් මේ පැත්තට එන්නට බැරිවුණාය.පහුගිය දොහේ නාහේටත් උඩින් වැඩ ගොස් ඉස්මොළේ ගියාය.ඒකට බලා උන් උදවිය(හිටියා නම්) සමාව අයදිමි ය.

ඕකෙන් මේකෙන් මරු මරු වැඩ ටිකක් ගැන යාවත්කාලීන වුණේත් ආවාට ගියාටය.මෝඩිත් ඇවිත් ගියාලුය.දකුණු පළාත් සභාව තියා බස්නාහිරටවත් ගිය බව ආරංචි නැතත් උතුරට නම් ගිය බවක් දුටුවෙම්ය.එව්වා යුතුකම්ය!

අපේ පඹාදිපති තැන්පත් සිරිසේන උන්නැහේත් එංගලන්තේ ගොහින් ඇවිල්ලා පුරාජේරු ගසා තියෙනුත් දුටුවෙම්ය.
"මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳ. බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා.
නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්‌කගෙන ගියේ. බ්‍රිතාන්‍ය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස්‌ ගලවලා."
                                               -දිවයින 18/03/2015

Tuesday, March 3, 2015

යහපාලිතයන් අවංක ද?


මෙහෙම ලියනා එකෙන් සෑහෙන්න දෙනෙකුට රිදෙන්නට පුළුවන්ය. එහෙම වුණත් බහුතර යහපාලන අනුගාමිකයන් ගැන සිතා බලා කිරා මැන ගත්කල මෙවන් නිගමනවලට එළඹීම එතරම් අපහසු  නොවනු ඇත. තපුල්ලන්නට පෙර ඔබම ඔබ ගැනත් දන්නා හඳුනන අය ගැනත් සිතා බලන්න.මේ මාස ගණනාවක් පුරාවට මා නිරීක්ෂණය කළ දේ ය.

"බහුතර" යහපාලන අනුගාමිකයන් නිරීක්ෂණයෙන් පෙනී යන දේ:

1.පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝ / කුහකයෝ
යහපාලනයට කඩේ ගිය/යන ඇත්තෝ බහුතරයක් "මහින්ද ඇර ඕන එකෙක්" යන තදබල පුද්ගල වෛරයෙන් පෙලෙන්නෝය.බොහෝවිට සොයා බලද්දි ඊට හේතුව මහින්දගෙන් ඍජුව සිදුවූ දේකුත් නොවේය.කොටින්ම කාලා ඇඳ ඉන්නට බැරිතරම් කිසිම දුකක් ඇත්තේත් නැති උන්ය.ඒවුණාට උන්ට ප්‍රෙෂර්ය.ඒ ප්‍රෙෂර් එක කාගේ හෝ පිටින් ඇරියේ නැතිනම් අමාරුය.වැරදිලාවත් මහින්දට පෙර ජනාධිපතිව හිටියේ සිරිසේන නම් ඒත් ඔය මන්තරයම මතුරනු නොඅනුමානය.සමහරුන්ට තමන්ගේ නොහැකියාව හෝ නොලැබීම, ඊර්ෂ්‍යාවෙන් මඩිනු ලදුව පිටාර ගලන්නට මිටි තැනක් සොයනා සිත ජනප්‍රියත්වයක්, හැකියාවක් ඇත්තෙක් සොයා ගලනවාය. මෙවන් සමහරක් සංගක්කාර නොව තමාගේම එකෙක්වුව දියුණට පත්වනවා දක්නට බැරි අමන කුහකයෝය.මෙවන් සමහරක් වයසින් මෝරා ගියද නාමික ගුණධර්මයන් ගැන වැදි බණ තෙපලන්නෝය.


Friday, February 20, 2015

කොටු සහ නුගේගොඩ

නුගේගොඩ ගැන ලියන්නට ටිකක් ප්‍රමාද වුණාය.ඒ ටිකට බුකියේත් බ්ලොගේත් සුපිරි ගොන් තැම්බවල් තොගයක් දුටිමි.ගන්දස්සාරේ බැරුවාය.

එදා රැස්වීම වනතුරු ටොයියෝ කිවේ ඕකට එන සෙනඟක් නැත කියලාය.රෑ දිවා නැතුව පාස කී අයියලාගේ කටවල් සිප් වූයේ සෙනඟ දුටුවාමය.ඉන්පසු රෑ පුරා ඇහැරී උන් කලේ කොටු ඇඳ ඇඳ පාට කර කර ඔළුගෙඩි ගණින එකය.වෙන මොකෙක්වත් නොවේය ඔය පාට කිරිලි රූප ඇඳිලි සේරෝම කලේ ඡන්දෙන් පසු ලංකා සිතියම පාට කළායැයි බයියන්ව පට්ට පඳුරු ගැසූ ටොයියෝමය! ආශ්වාදජනකය!


සමහර ගොන් වාහේලා කීවේ ඕකට ආවේ නුගේගොඩ පංති ඇරී ගිය කොලු කෙලි රංචුත්, වැඩ ඇරී ගෙදර යාගන්නට බැරිව සිරවූ කාර්යාල සේවකයනුත් කියාය.අනේ උන් නම් බෙහෙතකටවත් ටියුෂන් සංස්කෘතිය ගැන දන්නවාද දන්නේ නැතිය.ඔහොම දෙයක් වී ගෙදර යාගන්නට බැරිවූ ටිකට කොල්ලෝ කෙල්ලෝ ටික ඔතැන තැම්බි තැම්බි තෙරපෙන්නට එන එකක් නැතිය.ඊටවඩා උන්ට ආතල් ගන්නට තැන් ඇත.අනික් අතට එතැනට ගිය එකෙකු හැටියට මම නම් ඔය කියනා ටියුෂන් කොල්ලෝ කෙල්ලෝවත්, ගෙදර යාගන්න බැරිව කන්තෝරු බෑග් කිහිලිගන්නාගෙන පුපුරමින් උන් ක්ලාක් මහත්තුරුවත් නොදුටු නිසා ඔය කියන ඒවාට මට ආයෙත් අධෝමුඛයෙන් හිනා යනවාය!

Friday, February 13, 2015

පළුද්ද...

පළුදු වූ කැඩපතක් 
අද රුවක් නොදකින
පෙරදාක ඒ රුවින්
මුළු හිතක් පිරෙව්ව...



Monday, February 9, 2015

රදල පිළිරුව සහ චන්ද්‍රිකා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කලක් අද මහින්දට වඩා ජනප්‍රියව සිටි, ජාතියේ පිනට පහළවූ විහාරමහා දේවියය (සනත් මන්දා කිව්වේ).! වසර 11ක් බලයේ හිඳ පැල කෙරූ එක ලබු ඇටයක්වත් නැත්තේය!අත්තනගල්ලේ සමහරක් පාරම්පරික බණ්ඩාරනායක ගැත්තෝ පවා නැතිකරගත්තේ චන්ද්‍රිකා නෝනේය.ලක්ස්ප්‍රේ හැරීට දී හුරතල් කරන්නට, හංස බෝට්ටු පදින්නට ගොස් නැතිකොරගත් ඡන්ද ගාණ ඇතිය..

ඒත් යන්තම් බෝම්බයකට පින්සිද්ධ වෙන්නට දෙවෙනි වතාවෙ අනුකම්පා ඡන්දෙන් ගොඩ දාගන්නට හැකි වුණේය.කලක උන්දැගේ ඔඩොක්කුවේ ලැග උන් වික්ටර් අයිවන් කියන්නේ ඒකත් ප්‍රේමදාස මහත්තයා වාගේ උන්දෑම උන්දෑට අටෝගත්තු එකක් කියලාය..! වික්ටර් අයිවන් සම(මී)හරක්ට නම් හෙණ වැඩ්ඩෙකි..! ඌ ලියන්නේ මක්කද ඒ සියල්ල වන්දනාමාන කොරන ඈයෝද මේ රටේ ඉන්නෝය! ඒ හින්ද ඕවායි ඇත්ත බොරුව නම් අපි නොදනිමුය..මන්දයත් මැඩම්ගේත් ගෝලයාගේත් වැඩි වෙනසක් නැති හින්දාය..!

උන්දැ පහුගිය දොහක "ඩේලි මිරර්" පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණාය.අහෝ රදල පිළිරුව!
පටන් අරන්ම තිබුණේ සුපුරුදු පම්පෝරියෙන්මය! උන්දැ කියන හැටියට ලංකාවේ උගත්ම උගත් දේශපාලනඥයින්ට ඉඳ ඇත්තේ උන්දැගේ පරලෝ සැපත් මාපිය දෙදෙනා සහ අනුර මල්ලීය; දැනට ඉන්නේ උන්දෑත් සුනේත්‍රා අක්කාත් විමුක්ති හා යශෝධරාත් ය! මං නම් කියන්නේ රනිල්ට වත් එහෙම නොකිව් එක හරි පව්ය..! මොනාවුණත් මුන්දෑගේ ලණුව රෝල පිටින් කෑ ගුණය හරි තියන්නට තිබුණාය...අනෙක් අතට චෞර රැජිණ ලියූ වික්ටර් කියන්නේ උන්දැගේ උපාධි සහතික බොරු එව්වා බවය..ඒවාත් දන්නේ ඒ දෙන්නාම විතරය.

Tuesday, February 3, 2015

අමුඩ රෙද්දෙන් පිට්ටු තැම්බීම

බුකිය දැන් එකම විකාරයකි.දේශපාලන මත ඉවසන්නට බැරි සමහර ගිනිපුක්ගායකාරයන් කොරනා විහිළුවලට මට හිටං හිනාය.යකෝ මම ලියන්නේ මගේ තාප්පේය, මම පෝස්ටර් ගහන්නේ මගේ තාප්පේය.කොහෙවත් යන උන්ට රුදාවය! ඒකත් හිනාව බඩයන්නට ගන්නේ ජනවාරි 9වෙනිදා තෙක් ඡන්දයක් ගැන මුකුත් නොදන්නා සේ හිටි පතෝල කරල්ද දැන් නයි කොච්චි වී ඇති හැටි දැකලාය.අම්මපල්ලා මට නම් මේ දැනුත් හිනාය!උන් උන්ගේ පු**වල් සපාගෙන සැරට දනෝ දනෝ කියා මගේ තාප්පේට චූ කරන්න එන්නෝය..! යහපාලනේ එච්චරකට නැගලා යන්නේය..!

උන්ට කියන්නට ඇත්තේ:

මගේ කැමැත්තට මම කවි පබඳින්නේ
මගේ තාප්පේ මගෙ ඩාටා යන්නේ
දිරවන්නේ නැති යමෙක් නම් මෙහි ගැවසෙන්නේ
මං මක් කොරන්නද නැත මා උන් කැඳවන්නේ

තුන්සක රියක පිටුපස ගහලා තිබුණේ
නිසි වදනමයි එයමයි මට සිහිවන්නේ
"ළිඳ මගේ නම් මම ළිදේ නම් ඉන්නේ
වෙන කවුරුවත් මොටදෝ මේ දුක්ගන්නේ"

Monday, February 2, 2015

සුළඟේ පාවී

සාමාන්‍ය පෙළ ඉවර වෙලා හුස්මක් ගත්තේ මාසයයි..උසස්පෙළට පංති පටන් අරගන්නවා...
අද...ඔව් 2002 පෙබරවාරි 02 වෙනිදා...

"ඇයි යකෝ, මැත්ස් කරන්නේ කොල්ලෝ විතරමද? කෝ අපිට ආසාවට බලාගන්න කෙල්ලෙක් නැද්ද?" කොටා අම්බානක දෙස් තිය තියා දීගජන්තුවෝ වගේ ඉන්න කොලු පවුරෙන් එහාට එබෙනවා..හරියට පේනවා වගේ..

"මචං සිරාවටම දයාගේ පංතියට කෙල්ලෝ නැද්ද?" 

"අනේ මන්දා.."

පාරේ ඉඳන් නගින පඩිපෙළ පිරෙන්න කොල්ලෝ..පාරේ ඉඳන් බැලුවම කණ්ඩියක් වගේ තියෙන මිදුල් කෑල්ලේ නම් කෙල්ලෝ වගයක් ඉන්නවා පේනවා...අම්මලා වගේකුත් ඉන්නවා...කෙල්ලොයි අම්මලයි වෙන්කරලා අඳුරගන්න බෑ වෙලාවකට..එච්චරට හැඩයි දූලා..! පාරේ ඉඳන් පඩිපෙළ නැගලා ඔය කණ්ඩියේ තියෙන මිදුල කෑල්ලෙන් යන්න තියෙන ඔෆීසිය ඇතුළට ගිහිං තමයි අළුත් පංතියට බැඳෙන්න ඕන...අපේ පංතිය විතරක් නෙවෙයි තව පංති කීපයක්ම පටන් ගන්නවා වගේ...

ටික වෙලාවක් වටේටම ඇහැ දාගෙන ඉන්නකොට ඔන්න කෙල්ලෝ එකා දෙකා පඩිපෙළ නැගන් ඔෆීසියට පැත්තට යනවා...අන්න එතකොට අපිටත් සෑහෙන්න වැඩ තිබුණා..කාඩ් මාක් නොකළට කාඩ් කොයි වගේද බලන්න එපැයි..

ජබ්බයක් වගේ සුදුම සුදු සුද්දියෙක් වගේ කෙල්ලෙක්, කණ්නාඩි දාපු කෙට්ටු කෙල්ලෙක්, දත් හරහට කම්බි ගැහුව කෙල්ලෙක්, කොණ්ඩේ දිග නැට්ටුක්කාරියෙක්, පුංචි කොණ්ඩ කුරුච්චක් බැඳගත්තු පොෂ් පාට කෙල්ලෙක්..ආපු වෙලාවේ ඉඳන් කොල්ලෝ එක්ක හිනාවෙන කෙල්ලෙක්...හ්ම්ම්...එච්චරයිද අපේ පංතියට ඉතුරු..? 
නෑ, තව එකෙක් ඉන්නවා ඇස් දෙක බිම දිගේ ඇදන් යන සුදු කෙට්ටු කෙල්ලෙක්...

Saturday, January 31, 2015

ගීතයක්...

ඉතින්, මා වෙනුවෙන් ගයන්න
නුඹෙ සෙනේ සිතුවිලි ගයන්න..
පෙම් කවක් සිහිනයක් වාගේ
පිරිමදින්න, රිදුම් සනසන්න...
නුඹ ගීතයක් වාගේ
එන්න, ජීවිතේ ගෙන එන්න...
හදවතම නුඹේ වාගේ
ඉතින් එහි නැවති මොහොතක් හිඳින්න...



Thursday, January 29, 2015

අපේ රොබින්හුඩ් අයියා!

පොළොව කාස්ටක වෙලා..ඉරිතලලා..ඡන්දෙන් පස්සේ ආකාශ් තරහවෙලා වැස්සේම නෑ..හුළං ගහන් හරි නාන උන් නාවන්නේ මක්කටෙයි කියලා හිතිලා වෙන්නැති..
පොඩ්ඩක් ඉන්න...කහඉර ලඟ හිටන් කල්පනා කර කර හිටියේ කොළ බොත්තම ඔබන්න කම්මැලිකමට..
අම්මට සිරි! කවුද හැන්ඩි බුවෙක් පරණ ජීප් කට්ටක් නවත්තන් මං දිහා බලන් ඉන්නවා..! අනේ අම්මාපල්ලා කෙල්ලෙක්ට කහඉර පනින්න ඉන්න බෑ නේ මේ රටේ! යහපාලනේ මෙච්චර තියෙද්දි! මම ඌට රැව්වා..හහ්! ආවා මෙතන!!

ලඩියේ දොර ඇරුණා...කොල්ලා බිමට පැන්නා...නෑ වැටුණද මන්දා...
හත් ඉලව්වේ! උගේ පුක ගිනි අරන්!!!
නෑ නෑ පුක්ස්ම නෙවෙයි..ඒක වහන් ඉන්න ඩෙනිම..
ඉලන්දාරියා නොනවත්වා ගිනි ගත්ත පුක්ස් බිම ගහගන්නවා..

"අ..අනේ..නංගී..නිවහංකෝ..නි..නිවහංකෝ...මාව පිච්චෙනෝ!! හායි...හම්මෝ...ෂූයි! "

නිවන්නම තමයි ගිනි තිබ්බේ..! හහ්!

"මොකටද උලමෝ මේ වගේ යහපාලන සමයක උලමෙක් වගේ ගෑණු දිහා බලන් ඉන්නේ? බොට පාචනේද?" 

"ගෑ...ඌයී..ගෑණු...උල්..උලමා..අනේ පිස්සුද මගේ සුදු නංගෝ..මම මේ ඔයා පාර පනිනකන් වස්තුවේ බලා උන්නේ..!"

හෑ??? 
ඒ සැරේ වැටෙන්න ගියේ මාවයි!!
යකෝ මම පාර පනිනකල් ඔහොම තවලමක් නවත්තන් හිටියමද කොහෙද..!

Tuesday, January 27, 2015

පඹ රාජ

අම්බරු රෑන දක්කාගෙන යන කලට
එකැස් කණෙක් පඹ රාලෙක් හදනු දැක
පඹයට ඇස් තියන් කියනා සෙල්ලමට
වමාරා කන ලොල්ලෙක් ආපි පැන

මුට්ටිය වෙනස් කළ යුතුමය අපෝ කැත
කලින් එකාගේ මුට්ටිය හරිම පත
මූට තියමු මේ මුට්ටිය අයින් කර
කිරි උතුරන්න ගෙන ආ හිල්වෙච්චි එක

පරණ එකාගේ සරමට වැඩිය හොඳ
ස්ලිම් ෆිට් ජාතික ඇඳුමක් මහලා ගෙන
අන්දමු එවිටවත් මුගේ මේ තියෙන කැත
වැහෙයි නේද ඩාලිං මේ ඇදවෙච්චි ඇඟ

ඔක්කොම හරිය මුගෙ ඔලුවේ පිදුරු ටික
තියෙන හිලෙන් කට වෙනුවට එන්නේ පැන
ඕවා දුටුවොතින් නම් එන ගිරා කැල
හදනු ඇත කූඩු මුගේ ඔළු ගෙඩිය උඩ

පඹයා තනිව තියනට බැහැ කුඹුර මැද
එකැස් කණා හිටියයි පළවෙනි මුරට
දෙවනුව ලොල්ලා තව ලොල්ලෙක් සමඟ
සහවාසයෙන් බැලුවයි පඹයගේ ගැන

මුර කරන්ට පුට කංචෙක් නැතුව බැරි
ඌවත් එක්ක වර ඌටත් හිටිය හැකී
උඩහ ගෙදර කාවඩියත් ආවොතින් හරී
බැරිම වුණොත් කටුසු හකා ගේනු හැකී

රෑන ගිරා කොබෙයි පියා සලා නැවී
ඈතින් හිඳන් බැලුවයි පඹ වාහේ හැටී
ටිකක් වෙනස් ඒත් මදැයි අපිට හැපී
ඕන වුණෙත් පොඩි වෙනසක් අපිට සකී

එසේ මෙසේ පඹයෙක් නම් නොව මේකා
මුගේ සිරිත්වලින් තොපට සෙත් වේවා
හිටවා කෙලින් කල පසු මූ කුඹුර මැදා
තොපිටත් හැකිය නෙලනට අස්වනු මා හා

රෑන ගිරා කොබෙයි බලති උනුන් දෙස
ඒ නම් යසය අදහස නම් සිරාමය
වරෙව් කොල්ලනේ අපි මූ කෙලින් කොට
ගනිමු අපට පාදාගෙන මෙදා පොට

චැසිය ඇද පඹයා දැන් කෙලින් වෙලා
මෙලෝ රහක් නැත ඒ පුක් මූණ පුරා
එකැස් කණයි ලොල්ලො ගොඩයි ඔකඳ වෙලා
පිදුරු හෙවු උන්ටත් දැන් සතුටු සිනා

ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා






Saturday, January 10, 2015

යහපාලනය සහ අපි

හුදී ජන පහන් සංවේගය උදෙසා නව යුගයක් මෛත්‍රී හෙටක් ඇරඹ ඇත.ජනතාව ඉල්ලු වෙනස ලැබී ඇත.

මෛත්‍රී යුගයේ ප්‍රධානතම සටන් පාඨය හෙවත් අරමුණ යහපාලනයකි.අපිත් යහපාලනයට කැමති වෙමු.මන්දයත් ලංකා ඉතිහාසයේ යහපාලනය තිබී ඇත්තේ පෙර රජ දවස පමණක්ම නිසාය.ඒවාත් බොරුයැයි සමහරෙකුට කිව හැකිය.එහෙම නොකිවහොත් රැඩිකල් නොවන නිසා, සර්වජන ප්‍රේමී නොවන නිසා අපි එසේ අසන්නන්ට අනුකම්පා කරමු.

යහපාලනයක් ඇතිවන්නට නම් යහපත් සමාජයක් ඇතිවියයුතුය.යහපාලනයක් ඇතිවීමට නම් පාලකයාගේ සිට පාලිතයා දක්වා විනයානුකූල විය යුතුය, යහපත් ඇවතුම පැවතුම් ඇතිවිය යුතුය, නීතිගරුක වියයුතුය, ධාර්මික වියයුතුය, සාධාරණ වියයුතුය.පාලකයාගේ දැක්මෙන් ඒ වනාහී අවවාදයට වඩා ආදර්ශය උතුම්බව පෙන්වීමයි.පාලිතයාගේ දැක්මෙන් ඒ වනාහී නිවැරදිදෙය අනුගමනයයි.

මිනිසුන් විවිධාකරය.මානසික මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, බුද්ධි මට්ටම්, ආකල්ප, ඇවතුම් පැවතුම් එකිනෙකාගෙන් වෙනස් වේ.එවන් විවිධාකර මිනිසුන්ගෙන් සැදි සමාජය තුළද විවිධත්වයක් ඇත.සමාජයක සියලුදෙනාම උපසකයෝ නොවෙති, සියලුදෙනාම මිනීමරුවෝ නොවෙති.අවශ්‍යතාව මේ විවිධාකාර පුද්ගලයන් තුළ එකම යහපැවැත්ම ස්ථාපනය කිරීමය.

මෙය සිදුකළ යුතු අන්දම ගැන විවිධ පුද්ගලයන්ට විවිධාකර මතවාදයන් තිබිය හැක.මගේ අරමුණ සරලව කළ හැකි අන්දමක් සොයා බැලීමයි.කියවන ඔබට යම් අදහසක් ඇත්නම් කිව හැකිය.

ගසක් පැලවන බීජය පළමුව වැටෙන්නේ පොළොවටය.එතැනින් සූර්යාලෝකය සහ ජලය ලැබීමෙන් එය ගසක් දක්වා වර්ධනය වේ.හිරුඑළිය සහ ජලය පාලකයා නම්, චණ්ඩ හිරු රශ්මිය බීජය මරා දමනු ඇත, හිඟ ජලය වැඩීමට බාධා ගෙනදෙනු ඇත, ඒ නිසාවෙන සියල්ල සමබර වියයුතුය. බීජයට වැඩෙන්නට දිරි දිය යුතුය.එසේම යහපාලන ආකල්පය සමාජය තුළ වැඩෙන්නට පළමු දිරිදීම ලැබිය යුත්තේ යහපාලනය හඳුන්වාදෙන පාලකයාගෙන්ය.

Tuesday, January 6, 2015

Pre-election කවිය

බලය ඇතිදාට නැති නෑයෝ ඇදෙති
බලය නැතිදාට බල්ලොත් ගස්සාවී
කළගුණ සියල්ලම මොහොතින් නැතිවේවී
අඟ ලොකුවී කණ කපලා වළ දාවී

බුකියේ බ්ලොගේ මහ මඟ කන්තෝරුවේ
බසයේ දුම්රියේ හංදියේ තැබෑරුමේ
ගහ බැනගෙන පිහි ඇනගෙන නිස්කාරණේ
අපි උඹලා නොවෙයි රජවන්නේ අවසානයේ

ඒ තේරුම් නොගෙන කරනා අඬදබර
නැතිකරනවා මෙතුවක් කල් රැකි සෙනෙහ
අපි අපි අතර ඇතිවෙන ඔය අමනාප
ලොක්කෝ ඇවිත් නොකරනවා නෙව සාම

අතේ ඇඟිලි පහ එක වගේ නැත
පොල් අත්තක පොල්කොළ එක වගේ නැත
උඹෙයි මගෙයි හිතුවිලි එක වගේ නැත
උඹට හොඳයි මට නරකයි කමක් නැත

ජනේරුවේ අට වෙනිදට එළිවෙන්න
බුදුන් පුදා ගොස් මනාපේ දී එන්න
ප්‍රතිඵල බලා කූරියා ගැසුවොත් ඔන්න
මොකෙක්වත්ම නැතිවෙයි උඹ වලලන්න

අසනීපෙකට, අව හෝ වෙන මඟුලකට
ඇවිත් යන්න හෝ දෙඩුමෙන් දිරිදෙන්ට
එදත් උන්නේ අපි මිස වෙන කවරෙක්ද
හෙටත් එහෙමමයි එහි මොන වෙනසක්ද

ඡන්දේ ඇවිත් ගිනි තියලා අපෙ දිවිය
තව එකෙක්ට සුර සැප දෙයි මේ කැටය
එබැව් හිතා සිහි නුවණින් සියළුදෙන
කෝප නොගෙන ඉවසාපං මේ ටිකට