Saturday, September 20, 2014

සකායි

ඈත ඔරලෝසු කණුවේ අළුයම දෙකේ කණිසම වදිනවා ඇහුණේ හීනෙන් වගේ..මංවත් නොදැන ගලාගිය කඳුළක තෙත මුහුණ මත...මාව මේ තරම් ප්‍රබල කම්පනයකට පත්කරවන්න සමත්වුණ "සකායි" සීතල අඟිලිතුඩුවලට හිරවෙලා හිටියා..මං කියවමින් උන්නේ අවසාන පිටු කීපය...වෙලාව කොතරම් ඉක්මණින් ගතවෙනවාද කියලවත් නිච්චියක් නොවෙන තරමට මං ජොසුයි සකායිගේ පුදුමාකර ප්‍රේමය තුළ හිරවෙලා හිටියේ...

මං තේරුම් ගන්න උත්සහ ගත්තා, අහඹුවක් වගේ ලැබුණ එක බැල්මක් දිගේ ගමන් ගත්ත ජොසුයි සකායිට ඇලන් කෙනඩිගෙන් ලැබුණේ ඇත්තටම ප්‍රේමයක්ද නැත්නම් ඇගේ සුකොමළකමට, ඇගෙන් පළවුණ පෙරදිග ලාලිත්‍යවත් ගැහැණුකමට ඇතිවුණ නොනිම් ආසාවක්ද කියලා..තමන් දැඩිව ආදරය කළ සාම්ප්‍රදායික ජපන් දෙමව්පියනුත්, තමාට දැඩිව ලෙංගතුවුණ යහපත් තරුණයෙකුත් හැර දමා ඇය ගිය ගමන නැවතුණේ කොතැනද?..

මේ 'ප්‍රේමය' කියන සංවේදනය නැතිනම් හැඟීම මහ පුදුමාකාර දෙයක්...මිනිස් ප්‍රාණියෙක් කොතරම් ශක්තිමත්වුණත් බලගතුවුණත් මේ ප්‍රේමයෙන් බිඳුවක් ඇති ඔහුට දුර්වලවන්නට..ඒත්, ඒ ප්‍රේමයේ සියළුම මුහුණුවර හමුවේ ජොසුයි සකායි හිතාගන්නටත් බැරිතරම් ශක්තිමත්....


හරිහැටි නොදත් ඇමරිකානුවෙකුට ආදරයකරමින් ඔහු නිසා තමාගේ ආදරණීය දෙමව්පියන් අතැර ඇමරිකාවට එන්නට තරම් අය නිර්භීතයි..ඉන්පසු කෙනඩිගේ අම්මාගෙනුත් ප්‍රාන්ත නීතියෙනුත් ප්‍රතික්ෂේපවීම හමුවේත් නොසැලෙන තරම් ඈ තදයි..තමා ආදරය කළ, තමාට මුළු ලෝකයම වූ තරුණයා වෙනස්වන හටි දැක දැකත් ඔහුට ආදරයකරන්නට තරම් ඈ ධෛර්යවන්තයි...පියාටවත් නොහැඟුණු ආගමනයක් කළ නූපන් දරුවා "ලෙනී"ව දරාගෙන ඔහුව ජීවත්කරවන්නත් මේ මිශ්‍ර ලේ සහිත දරුවා අවසානයේ හදාගන්නට දෙන්න තරම්මත් ඈ ශක්තිමත්...

පිරිමියෙක් තමන්ට මේ තරම් ආදරය කරන ගැහැණියක් ගැන කොයිතරම් නොසැලකිලිමත්ද...අඩුමතරමින් ඇගේ දාරක ප්‍රේමයට සාධාරණයක් කරන්නටවත් ඇයට මහෝඟයක්වූ ප්‍රේමයට නොහැකිවුණා..ඒ නොලැබීමයි ඇහැට කඳුළක් නංවන්නේ...

ඇයට උමතුවෙන් ආදරය කළ කෙනඩිම පසුව ඇයට මළ සෙනෙහසක් වන හැටි..අභියෝග හමුවේ නොසැලී ඉන්නට තරම් ආත්ම ශක්තියක් ඔහු තුළ තිබුණේ නැතිදැයි සිතෙනවා...

ඔහු තුළ ඈ කෙරෙහි ශක්තිමත් බැඳීමක් තිබුණා නම් සින්තියාගේ දෑස්වලින් ප්‍රේමයක් සොයන්නට ධෛර්යයක් ඇතිවන්නට බැහැ..අඩුම තරමින් ජොසුයි යන්නට ඇත්තේ ඔහුගේ ලෙයින් පෝෂිත කළලය දරාගෙන වග දැනගත් පසුවවත් ඔහුට ඈ ගැන පසුතැවිල්ලක් නෑ...පුදුමයි...

මට මොහොතකට පොත අමතක වුණා..ප්‍රේමය ඇත්තටම ආත්මාර්ථකාමීද?..පරාර්ථකාමීද?..අප අවට මේ මට දැනෙන මඳනලම විඳිමින් කෙනඩිලාත් ජොසුයිලාත් තව දහස් ගණනක් ඇති...තමන්ගේ ප්‍රේමයට සාධාරණයක් නොවන ඉරණමක් හිමි ජොසුයිලාටත් තමන්ට හිමි ප්‍රේමයක් ලබන්නට තරම්වත් පින් මදි කෙනඩිලාටත් හෙට දවස ඒ විදියමයි...වෙනස් කළ හැකියි..නමුත් ඊට අවබෝධය අවැසියි...

මගේ හෘද ස්පන්දනයට සවන්දීගෙන වැතිරිලා උන්නු 'සකායි' පොත් රාක්කයේ තැන්පත්කරලා විදුලිපහන නිවා ඇඳට එද්දි ලුමිනස් පාට එළිය දිදී පුංචි කණාමදිරියෙක් විතරක් කළුවරේ තනියට උන්නා...




12 comments:

  1. ප්‍රේමය කියන්නේ මිනිසා සතු බලවත්ම ආයුධය...

    හොඳට නරකට දෙකටම ඕක පාවිච්චි ක‍රන්න පුළුවන් ..

    ඕක තමයි ඇත්ත කතාව.
    -----------------

    කතාව නම් නියමෙට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා විභී..හොඳට නරකට දෙකට කටමය කිව්වා වගේම තමයි හොඳට නරකට දෙකට ප්‍රේමය...:)
      //ප්‍රේමය කියන්නේ මිනිසා සතු බලවත්ම ආයුධය..// ප්‍රේමය සමහර ජීවිත වෙනස් කරන හෝ විනාශ කරන හැටි දැක්කම හිතෙනවා න්‍යෂ්ටික, රසායනික, ජීව විද්‍යාත්මක ආයුධවලට වඩා භයානකයි කියලා...මිනිහෙක් විඳවලා හෝ නැතිව හෝ එක සැරේ මැරෙනවාට වඩා මැරී මැරී ජීවත්වීමට සිද්ධවීමේ වේදනාව දරුණුයි...සමහරු ඒ තුළම ගිලිලා විනාශවෙනවා...සමහරු ගොඩ ඇවිත් සාර්ථක වෙනවා...

      Delete
  2. මට නං ඔය ප්‍රේම පිස්සුවක් නෑ.. හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ PBY! :P අපි නොදන්න චෙස්! :P

      Delete
  3. ප්‍රේමය නම් රාගයෙන් තොර
    සද එළිය සේ අචින්ත්‍යයි
    අරකයි මේකයිකියන්නෙ නන්දා මාලිනී...
    ඒත් ඔය තියරියට වැඩ කරන්න ගියොත් හොස්ස නෑ....
    සකායි ට වුණා වගේ....

    තිබ්බ සබ්බ සකලමනාවම ආදරේ ආදරේ කියල දන් දීල අන්තිමේකදුළුත් ආදරේටම දන් දෙන කෙල්ලො තමන්නෙ ජීවිතෙත් ආදරේටම දන්දීල කිසිම සලකුණක් නැතිව යන්නම යනව... සමහර වෙලාවට ජීවිතෙන් සමහර වෙලාවට ලෝකෙන්ම...
    අපි කවද හරි අපට ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ව හොයල ඒත් නැත්තටම නැති වච්ච තැන ආපහු එනව අර පරණ ආදරේ හොයාගෙන...
    ඒත් හුගක් වෙලාවට පරක්කු වැඩී... මං අර උඩං කීව වගේ මොකක් හරි සුදුවීමකින් ඔවුන් යන්නම යනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂ්..මිනිස්සු ආදරේ අර්ථකථනය කරන්න දන්නේ නෑ..ඒක තමන්ට හිතෙන හැටියට තමා කියන්නේ..හැබැයි ප්‍රායෝගිකත් නැතුව, සිහිනුවණින් යුතුව නොකළොත් රමණීය ප්‍රේමය මරණීය ප්‍රේමයක් තමයි...එහෙම නොවී ගොඩ ගියත් ඒවත් එක්ක හැලහැප්පීමෙන් නැතිවෙන සමහර ගුණාංග හරි ඇවතුම් පැවතුම් හරි ආයෙත් ඇතිකරන්න බැරිවෙනවිදියට නැතිවෙලා යන්නත් පුළුවන්..කොටින්ම මුල හිටි තමන් අග වෙද්දි හොගායන්නවත් නැතිවෙන්න පුළුවන්...

      Delete
  4. ප්‍රේමය කවදාවත් පරාර්ථකාමී වෙන්නේ නෑ. ප්‍රේමය ආත්මාර්ථකාමියි හොඳටම , ඒකතමයි ප්‍රේමය කියන්නේ , දැඩිව ප්‍රේම කරනවා කියන්නේ දැඩිව ආත්මාර්ථකාමී වෙනවා කියන එක තමයි . තනියා අහල තියෙනවද ඉරිඟු හේනේ කතාව . ප්‍රේමය කියන්නේ හදිසි අනතුරක්, ආපහු සනීප වෙන්නේ නෑ ඒ ඇක්සිඩන්ට් එක වුනාම . හොඳටම පැහැදිලි වෙයි ඇනා කැරනිනා කියවලා තියෙනවනම් .

    ReplyDelete
    Replies
    1. ඉරිඟු හෙනේ කතාව දන්නේ නෑ ඉවාන්..
      //ප්‍රේමය කියන්නේ හදිසි අනතුරක්, ආපහු සනීප වෙන්නේ නෑ ඒ ඇක්සිඩන්ට් එක වුනාම//
      ගැලපෙනම කතාව..හදිසි අනතුරක් නේන්නම්..එහෙම වෙලා ගොඩ ගියත් අතුරු බලපෑම් තියෙන්න පුළුවන් ජීවිතකාලයටම...

      Delete
  5. ප්‍රේමතී ජායතී සෝකෝ
    ප්‍රේමතී ජායතී භයං
    ප්‍රේමතෝ විප්පමුත්තස්සෝ
    නත්ථි සෝකෝ කුතෝ භයං

    පුලුවන්නම් මෙතනින් එහාට ප්‍රේමය විස්තර කරන්න කාටවත් බැහැ, කවුරු කොහොම මොන විදියට ආදරේ කරත් එක වින්දත් එක්කෝ වින්දෙව්වත් අවසාන පලය ශෝකයා හා බියම පමානයි, හිමි වූ කෙනෙකුට අහිමි වේ යයි හැඟෙන බියයි ශෝකයයි, අහිමි වූ අයෙකුට හිමිව හුබූ කාලය පිලිබඳ ශෝකයය පමණයි.

    මොක උනත් ලස්සන පොස්කටුවක් :D

    ReplyDelete
    Replies
    1. සොමියා, මේ කමෙන්ටුවක් කොටපු පළවෙනි වතාව වෙන්ට ඕන...බොහොම සාදරයෙන් පිළිගන්නවා තනි තරුවට..:)
      කමෙන්ටුව ගැන ආයේ කියන්න දෙයක් නෑ..සහතික ඇත්ත...ප්‍රේම කරන්නාද ප්‍රේම නොකරන්නාද ප්‍රේමය අහිමිව සිටින්නාද බියෙන් හා ශෝකයෙන් තැවේ...

      Delete
  6. මම සකායි පොත කියවල තියනව .මං හිතන්නෙ මගේ පුංචි හරි මාමා හරි කියෙව්ව පොතක් ...පරණ පොත් ගොඩක් අස්සේ තිබිල තමයි හම්බුනේ.සකායි ගැන මට ඔය වගේම අනුකම්පාවක් දැනුන.ඒත් ඉක්මන් තීරණයක් ගන්න තරම් ඇය බොළඳ වැඩි කියලත් හිතුන .(love is blind or may be lovers are blind ) මොනවා උනත් හිතට දැනුන ලස්සනම කතාවක් ..සකායි ගේ අහිංසක කමට මම ආසයි ...

    ReplyDelete
    Replies
    1. හංසි, සමාවෙන්න ඕන මේ තරම් ප්‍රමාද පිළිතුරට.
      ඔය ටිකම මටත් හිතුණා...ඒ බොළඳකමේ පොඩි අභව්‍ය ගතියකුත් මට දැනුණු වෙලාවක් තිබ්බා..සමහරවිට ලඳ බොළඳ කෝල කොමළකම් මේ කාලේ බොහොම දුලබ නිසා වෙන්නත් පුළුවන්.

      Delete