Saturday, July 26, 2014

දිල් පීචං ක්‍යා හේ - 4වෙනි කොටස

3වෙනි කොටසට

16වෙනි රූප රාමුව:
ශිම්ලාවල දුරකථන කුටියක්..රාජ් වෙව්ලන ඇඟිලිවලින් නොම්මරයක් ඩයල් කරනවා..එයා ඉන්නේ බොහොම කලබලෙන්...කුටියට පිට පැත්තෙ පවුලූෂා හේත්තුවෙලා චුයිංගම් එකක් හප හපා කෙවිටක් වනවන වටේ පිටේ යන කෙල්ලොන්ට පැණි හලහලා ඉන්නවා...රාජ් වරද්ද වරද්ද ඩයල් කරනවා..ඇතුළෙන් කිසිම සද්දයක් නැති නිසා පවුලූෂා දුරකථන කුටියේ දොර ඇරලා ඇතුළට එබෙනවා..

"අරේ යාර් මොකද වෙන්නේ?"

"මං මේ ඩයල් කරනවා..උඹ පලයංකෝ..ආවා මෙතන එබෙන්න..චුප්.." රාජ් පවුලූෂාගේ ඇඟට කඩං පනිනවා..ඒකා නෙවෙයි වගකටවත් ගන්නේ..මොකද එයා දන්නවා අපේ සත්‍ය ප්‍රේම බෘංග රාජයා වෙන වෙලාවට වීරයා වුණාට දැන් නම් අම්බානෙක බයවෙලා ඉන්නේ කියලා...ඉතිං එයා කරුණාව ඉතිරි පැතිරී ගිය හදවතින් යුතුව ටෙලිෆෝන් එක උදුරලා ගන්නවා..

Thursday, July 24, 2014

දිල් පීචං ක්‍යා හේ - 3වෙනි කොටස

2වෙනි කොටසට

12වෙනි රූප රාමුව:
සප්නාගේ ජීප් එක නොපෙනී යනකම්ම කඳු මුදුනට වෙලා ඉන්න රාජ් එහෙමම බිම වාඩිවෙනවා..ඒ එක්කම ප්‍රේක්ෂකයාව අඬවන ජාතියේ විරහ ගීයක් පටන් ගන්නවා...රාජ්ගේ ඇස් වලින් උල්පතක් වගේ කඳුළු බේරෙනවා..."උඹ මගේ අහසය පොළොවය - ඉරය හඳය - හඳ පලුවය තනි තරුවය..ඕයි ප්‍රියා ප්‍රියා - ඈ දාලා ගියා" කිය කියා එයා ඇස් බරකරන් ශිම්ලා ටවුම පුරා අසිහියෙන් ඇවිදන් යනවා...එයාගේ ඇට්ටර පොඩි යාළුවා දුකෙන් බලන් ඉන්නවා...ඒ දෙන්නත් එක්ක නටපු පොඩි උන් "අක්කා කෝ?" කියල දුවන් ඇවිත් අහනවා..රාජ් උත්තර නොදී උන්ගේ ඔළු අතගාලා යමින් ගමන් කඳුළු පිහිදගන්නවා...

ඒ අතර ආපහු යන කට්ටියව පෙන්නනවා..විරහ ගීයේ ගායිකාවගේ කොටස ගැයෙනවා..ඔක්කෝම පිස්සු නට නට යන අතරේ සප්නා විතරක් දොරට ඔළුව තියන් පහුවෙන ශිම්ලා දිහා බලන් ඉන්නවා..එයාගේ ඇස්වලින් බේරෙන කඳුළු කැට රත්වෙච්ච තාර පාරට වැටිල වාෂ්ප වෙනවා..ඩ්‍රයිවර් ලොල්ලා සප්නාව අනික් අයට පෙන්නලා උරහිස් අකුළනවා..එයාලත් අනික් අතට මොනා කරන්නද මන්දා කියලා සංඥා බාසාවෙන් උත්තර දීලා උරිස් අකුළනවා...

අඬ අඬා ඉන්න රාජ්ට පේනවා සප්නා ආයෙත් හැරිල ඇවිත් ඉන්නවා..රාජ් 'සප්නා' කියලා පුදුමෙන් කියාගෙන ඉස්සරහට දුවලා ගිහින් එයාව බදාගන්නවා...ඒත් එක්කම එයා දකිනවා ඒ සප්නා නෙවෙයි තමන්ගේ ඇට්ටර යාළුවා - පවුලූෂා කියලා..එයා දුකෙන් අත් ගසා දාලා අත් දෙක සාක්කුවල ඔබාගෙන තොල හපන් ඇඬුම් වාවගෙන කඳුළු බිමට වැටෙයි කියලා උඩ බලාගෙන දේව්දාස්ගෙ මල්ලි වගේ වැනි වැනි ඈතට ඇවිදන් යනවා...

Wednesday, July 23, 2014

දිල් පීචං ක්‍යා හේ - 2වෙනි කොටස


1වෙනි කොටසට

6වෙනි රූප රාමුව:
තාර පාර උඩ හැටට හැටේ යන වාහනේක රෝදයක්..ඒක එන්න ඕන පාරේ ඉඳන් රෝදේ දිහා බලන විදියටයි...
ඒ එක්කම 'ක්ක් රී....ස්ස්ස්ස්...' ගාල බ්‍රේක් පාරක් වදින්න ඕන...

දැන් කැමරාව උඩට යනවා..වාහනේ පොඩි පරණ ජීප් එකක්..බ්‍රේක් එකක ගහපු පාරට ඒකේ ගිය කොල්ලෝ කෙල්ලෝ නඩේ ඉස්සරහට විසිවෙලා ආයෙත් පස්සට විසිවෙන්න ඕන..සප්නාගෙ ඔළුව ජීප් එකේ හරස් පොල්ලක වැදිලා 'අයියූ මොනවා කරනවද මන්දා" කියලා බනින්න ඕන..ඩ්‍රයිව් කරන්නේ අර ට්‍රිපේ අදහස දැම්ම ලොල්ලෙක් වගේ කොල්ලා...එයා ඒ බැණුම ටෝටලි ඉග්නෝ කරලා ඈත පේන කඳු යාය දිහා බලන් 'ආහ්හ්...වට් අ වියුව් සප්නා' කියලා කෙඳිරි ගාන්න ඕන...ඊටපස්සේ කට්ටියම ජීප් එක පාර මැද්දේ නවත්තලා ඈත පේන කඳු යාය දිහා බලන් වශීකෘත වෙලා ඉන්න ඕන..කඳු මුදුන්වල රැඳුණු සුදුපාට අයිස් දිහා බලන් හූල්ලන්න ඕන...

මගේ කුළුඳුල් බොලිවුඩ් අධ්‍යක්ෂණය - 1වෙනි කොටස

දිල් පීචං ක්‍යා හේ...

1වෙනි රූප රාමුව:
කකුලක්..
නෑ නෑ එහෙම කොරළ පිපිච්ච මයිල් බාගෙට ගලවපු කකුලක් නෙවෙයි..හයියූ..
මේක ඇවිල්ලා සිරා ෂයිනින් කකුලක්...ෆුල්ල් වැක්ස් එකක් දාලා බ්ලීච් කරලා ශිමරින් ලෝෂන් ගාපු සිරා කකුලක්...
කෙල්ල අබ්බගාත නෑ තේරෙනවනේ...ඒ නිසා කකුල කකුල් දෙකකට මාරුවෙන්න ඕන...
රායිටෝ..

දැන් දර්ශනය වළලුකරේ සිට ඉහළට ප්‍රේක්ෂකයාගේ කුතුහලය වැඩිකරමින් දණිහෙන් ඉහළට..
ඉහළට ඉහළට ගිහින්...
තව ඉහළට ගොසින් පුංචි කාලෙ ඇන්ඳටත් වඩා චූටිත්තං කොට කලිසමක් පේන්න ඕන..ඒකට සුකුරුත්තං බෙල්ටෙකක් දාලා...ඊලඟට සයිඩ් බෑග් එකක් පෙන්නන්නත් ඕන...අතක පොත් මිටියක් තියෙන්නත් ඕන..කෙල්ල තාම කොලීජි යනවා...අර කලිසම පිටින් තමයි...හරිය? 

Saturday, July 19, 2014

පෙමක හැඩ..

ඔහුගේ අතේ කිළුටු පාට ට්‍රැවලින් බෑගයක්.අසුන් ඇන්දකට හේත්තු වූ සැණින් එතෙක් වේලා නිරපරාදේ කියවමින් උන්නු නිවේදිකාවගේ හඬත් සමග ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත වුණා..

තවත් මොහොතකිත් නිහඬ බවේ දැහැන් බිඳුණා, ඒ ස්වරයෙන්..

"සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දුන මැනවි තව දුක නොදීලා
වැදූ මව්නි පියතුමනි කරුණාව පාලා.."

ඔහුට තිබුණේ අපූර්ව හඬක්..සෝමතිලක ජයමහ මහතා ගයන ගීයක් ඔහුත් ඊට නොදෙවෙනි ප්‍රතිභාවකින් ගයනවා..ඒ මුහුණ සන්සුන්..දෙනෙත් පියාගෙන ඔහු ගීතය තුළ දැහැන්ගත වෙලා.

"මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගේ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්.."

ඒ හඬ ඔහු හසුරවන්නේ පරිස්සමින්, හරියට බිඳෙන සුළු දෙයක් පරිස්සම් කරනවා වාගේ..හඬේ උස්පහත්වීම්, අලංකාර ඔහු මෙතරම් මිහිරිව ගයන්නේ කොහොමද..

Monday, July 14, 2014

රැග් එක

මේ සිද්ධිය වුණේ ඉතින් තනි තරුව උපෙළ කොරලා ගෙදර හිටි කාලේ..මේ කියන්නේ දැනට දශකයකට කලින් හරිය..දැන් වගේම ඉතින් ඒ කාලෙත් කට්ටිය එක එක එව්වා කොරනවනේ ඔය උපෙළින් පස්සේ..සිමා දොන් සිමා කියකියා ඔව්වා කොලාට තනි තරුවට ඒක ගැන එච්චර උවමනාවක් තිබ්බේ නෑ...ඒත් ඉතින් දෙයියනේ කියලා පොතක් පතක් කියවාගෙන කවියක් දෙකක් ලියාගෙන උන්නු මාව ගෙදර තියාගන්න අපේ කස්ටිය කැමති වුණේ නෑ...හැමදාම වටමේස සාකච්ඡාව ඊලඟට ඉගෙන ගන්න පටන් ගන්න දේ ගැන...ඔන්න බලමුකො ඔය ප්‍රජතන්ත්‍රවාදෙක හැටි...

අහන අහන හැම මඟුලටම (මංයෝ නෙවෙයි මම මේ කිව්වේ) මගේ උදාසීන ප්‍රතිචාරය නිසා අපේ සීයා යෝජනා කළා මාව දෙහිවල උසස් තාක්ෂණ ආයතනයට දාන්න..ඔන්න ඉතිං ඔය අටමගලෙට මාව එක්කං ගියා...ඒක ඔය කැම්පස් එකක් නොවුණට එකේ අයියලා එක නිලනොලත් කැම්පස් එකක් කොරගෙනයි හිටියේ..මම ගියේ කළමණාකරණ මොකද්දෝ එකකට..ඉතිං පළවෙනි දවසේ පාවඩ දාල පිළිගෙන අපිට සීනියර්ලා ඇවිත් දුන්නා නෙතින් කඳුළු කැට වැටෙන හර්දයාංගම මෙව්වා එකක්..එයාලා කිව්වා අපිව ආරක්සා කොරන එක එයාලගේ වගකීමක්ය ඒ නිසා අපට තනියම විද්‍යාල භූමිය ඇතුළේ අරහෙට මෙහෙට යන්න එපාය කියලා..සහෝදර ප්‍රේමය කියන්නේ විවේකයේ අත් සෝදන්න යද්දිත් අපිව එක්ක ගියේ පෝළිම් හදවලා ප්‍රභූ ආරක්ෂාව මැද්දේ...අපි ඉතින් හෙණ වී අයි පී හරිය...ඒ අස්සේ අපිට ඇහෙනවා එහා සෙක්ෂන්වල වීදුරු කැඩෙනවා, දොර ජනෙල් දෙදරනවා, තුවාලකාරයෝ ගෙනියනවා, සීන් ගොඩයි..ඉතිං අපේ දයාබර අක්කලා අයියලා ඇවිත් කියනවා 'පේනවා නේද නංගී මල්ලී, උඹලා අපේ පොඩි උන් අපි උඹලට එහෙම කරන්නේ නෑ' ආදී වූ නොයෙකුත් වැල් බයිලා..අපි ඉතින් හරි සන්තෝසෙන් හිටියා...

ඔහොම සතියක් ගතවුණා පිංවතුනි..
ඊලඟ දවසේ එක සැරේම සැට් එකක් අපේ පංතියට කඩා පාත්වුණා..දොර ජනේල් සේරෝම වැහුවා...ආවේ ඒ මෙච්චර දවස් ආදරේ පෑව සීනියර්ලා ටිකම තමයි..ඇලුතෙන් ඇඩ් වෙලා හිටියා කොණ්ඩේ වවාගත්තු, රිදී දම්වැල් බෙල්ල වටේ දිලිසෙන, 'වයි' ජෙනරේෂන් පශ්චිම භාගයෙන් පෙන්නන් කලිසම් ඇඳගත්තු අමුතු ඩයල් කීපෙකුත්...අපි ඉතින් කොහොමත් කෝල කොමළ කෙල්ලෝනේ...දැන් වගේ ප්‍රචණ්ඩ නෑ ඒ කාලෙ...ඉතින් ඇකිළිලා ගුලිවෙලා අපි 45ක් විතර ගැහි ගැහි ඉන්නවා..උන් ඇඳ පොලු වගේ පොලුවලින් ගුරු මේසෙට ජනේල් දොරවල්වලට ගගහා අපිට අමු තිත්ත කුණුහරුපෙන් දෙසනවා..වැල්ලේ වගේ ඩයල් එකක් තමයි ලීඩ් කරේ..මිනිහාගේ දේශනාව මාරයි ඉතිං මොකද එයැයි කියනවා උන් රෑ එළිවෙනකල් පෝස්ටර් අඳිනකොට කවන්නේ පොවන්නේ උන්ගේ බැච් එකේ කෙල්ලෝ ලු..උන්දැලගේ යට ඇඳුම් පවා හෝදලා දුන්නේ කෙල්ලෝ ලු...අරවලු මේවලු..අපිත් එව්වා කොරන්න ඕනලු..ඉතින් ඔය මේ වගේ කාලේක නම් වොශිං ප්ලාන්ට් එකක් දාගන්න තිබ්බ ඕක ඇතුළේ.මොකෝ ඉතිං මේ කොහෙවත් ඉන්න උන්ගේ යට ඇඳුම් හෝදන්න ඕකට යන්න ඕනැයි! අනික ඉතින් උන්ගේ තිබ්බ හපුටු පාටට මට නම් හිතුණා ඒව නෙවේ මූණක් කටක්වත් හරියකට හෝදගන්නවද මන්දා කියලා..



Friday, July 4, 2014

ප්‍රත්‍යස්ථතා මාපාංකය

හිත ඇදිලා...නෑ කැඩිලා බිඳිලා විසිරිලා...

හැමදාම අලවනවා..ආයෙත් බිඳෙනවා..බිඳුණු හාවුණු සලකුණු කොයිතරම්ද...දැක්කද?..

උසස් පෙළට ඉගැන්නුවා ප්‍රත්‍යස්ථතා මාපාංකය...හැබැයි රබර්වල...එයිනුත් අවුරුදු කීපෙකට පස්සේ කවුද හිතුවේ හිතටත් එහෙම එකක් තියේවි කියලා...

හ්ම්ම්...හිතටත් තියෙනවා...ආතතිය වැඩිවෙල වැඩිවෙලා දරාගන්නම බැරි තැනකට ආවම හිතේ ප්‍රත්‍යස්ථතාව නැතිවෙනවා..හිත තිබ්බ තැන ඔහේ ඉන්නවා..ආයෙ මුලට යන්න බෑ...අන්තර් බල උත්සහ කරනවා..ම්ම්හු...බෑ කියලා හිතූ තැනම ඉන්නවා..

අන්න ඒ වගේ...අවුරුදු ගාණක් හිත එක්ක සෙල්ලම් කරලා හිත දැන් නැවතිලා...
මුලින්ම නුඹට ලැබුණේ බොහොම මටසිළුටු හිතක්..කට්ට කාල තිබ්බෙ නැති...ලේසියෙන් රිදවුණා..තැවුණා..දැවුණා..නුඹට විනෝදයක් වුණා ඒ හිත කෙනිත්තුවම නිදිකුම්බාවක් වගේ ඇකිලෙන හැටි..ඊටපස්සෙ නුඹට ඕන වුණා පාගලා බලන්න...හිත මලානික වෙලා යන හැටි...ටිකෙන් ටික නුඹ දරුණු වුණා...
හිත ඉවසුවා...හෙට නවත්තයි කියලා අළුත් බලාපොරොත්තුවක් හැමදාම හිතේ ඇතිවුණා..ඒ හෙට ටිකෙන් ටික ඈතට ගියා...බිංගෙයක් ඇතුළට ගියාම එළිය දොරටුව ඈත් වෙලා ඈත් වෙලා නොපෙනී යනවා වාගේ...මගේ ඒ හෙට ඈතකටම ගියා...නුඹ හිත පාගන එක නැවැත්තුවා...ඒවෙනුවට හිත විසි කරා අරහෙන් මෙහෙට, මෙහෙන් අරහෙට..හිත බිත්තිවල වැදි වැදී දෝංකාර දුන්නා...මගේ හිත පෑගුවට නුඹ තව සමහර හිත් ලස්සන කෙරෙව්වා..ආදරේ පෑවා..ආරක්ෂා කරා...මගේ හිතට විතරක් ඔය ඔක්කෝම අරියාදු...හිත ඔහේ වැටිලා උන්නා..ඒක තේරුම් ගත්තා මෙහෙම ඉඳලා බැරි බව...