Tuesday, September 10, 2013

මගේ උණ

අප සියළු දෙනාටම කාලයෙන් කාලයට විවිධාකාරවූ උණ රෝග ඇතිවේ.මේ කියන්න යන්නේ දොස්තරලාටත් හොඳ කරන්නට නොහැකි අපේ ඇත්ත 'උණ' ගැනය.මේ උණ තේරේන සිංහලෙන් කියනකල යමක් කිරීමට අප තුළ ඇතිවන දැඩි කැමැත්ත වන්නේය.සමහරුන්ගේ මේ උණ සමාජයට උණ ගන්වන අතර සමහරුන් යා හැකි ඉහළම තලය වෙත ඔසවාතබන්නටද සමත් වන්නේය.තවත් සමහරුන් මැලේරියාවෙන් මෙන් මේ උණෙන් ගැහෙමින් හිඳ කිසිදු හැලහොල්මනක් නැතිවම අවසන් ගමන් යන අවස්ථාද ඇත.මේ කියන්නට යන්නේ මගේ උණ ගැනය.

මගේ මතක ඇති අතීතයක මා පෙළු මුල්ම උණ, 'ගීත ගැයීමේ උණ' හෙවත් 'ගායිකා උණ'කි.අවුරුදු 4-5ක කාලයේදී ඇතිවූ මේ උණ කෙතරම්ද යත්, එවකට මගේ ආදර්ශය වූ රූකාන්ත ගුණතිලකයන්ගේ සිංදු මට ලියාදෙන්නට අපේ අම්මාට සිදුවිය.එවකට අපට මැජික් වැනිවූ ඔහුගේ උඩ පැන කෑගසා ගීත ගැයීමේ අතිශය ප්‍රාසාංගික කලාවෙන් මා වශීවී සිටි තරම කොතරම්දැයි කිවහොත් ඔහු මෙන් අදෘශ්‍යමාන ගිටාරයක් වයමින් දන්නා සියළු වැඩ කිඩ දමමින් ගී ගැයීම එකල මගේ 'උණ' විය.එවකට මට සබකෝලය වැළඳී තිබුණේ නැත.එසේම මට ගීත ගයන්නට හැකියාවක්ද තිබූ නිසා දන්නා හඳුනන සියළුදෙනාම මා කවදාහෝ ගායිකාවක් වනු ඇති බව කීහ, ඉතින් මගේ උණ වැඩිවිය.


ඒ අතරත් මට දරුණු 'දේශපාලන උණ'ක් තිබුණි.කොහොමටත් නිතර යාවත්කාලීන වියහැකි පරිසරයක් තිබූ නිසා ඒ උණ හොඳවූයේම නැත (තාමත් නොබැස තියෙන එකම උණද මේකය ).කුඩා කල සිට මගේ වීරයා වූ තාත්තා  සමග මමත් මට තේරෙන දේශපාලනය කතා කළෙමි.ඔහු තුළ ඒ පිලිබඳව සතුටක්ද තිබූ නිසා මගේ 'උණ' බැස්සේ නැත.ඉන්පසු කාලයක,සියලුදේටම විරුද්ධවන යොවුන් මදයෙන් මත්වී මගේ දේශපාලන අදහස් උඩු යටිකුරු විය.සමහරවිටක තාත්තා හා මා අතර මත ගැටුම් ඇතිවුවද අර 'උණ' හොඳ වූයේ නැත.එදා තාත්තා උන් තැන අද මා උන්නානම් කණ පැලෙන්නට ගසන බව දැන් මුහුකුරාගිය මනසින් යුතු මට සිතෙන්නේය.නමුත් ඔහු මගේ කණ දේශපාලනේ ගොදුරක් නොකර මටම හරි වැරැද්ද අවබෝධකොටගෙන නිදහසේ වැඩෙන්නට ඉඩ දුන්නේය.එසේවුවද සමහර අවස්ථාවල ඉවසීමේ රතුකට්ට පැන කණ බැණුමෙන් පිරුණු අවස්ථාවද නොතිබුණාම නොවේ. :)


ඔය උණෙන් පෙළෙමින් ඉන්නා කාලෙදිම මට 'කලා සහ ජනමාධ්‍ය උණ' වැලදිණි.එකල මගේ කැමැත්තවී තිබුණේ රැඩිකල් ජනමාධ්‍යවේදිනියකවීමය.ඊට ලංකාදීප වාර්තාකරුවෙකු වූ මගේ ඥාති සොයුරෙකුගේ අතහිත ලැබීමෙන් පුවත්පත්වලටද ලියන්නට මට අවස්ථාවක් හිමිවිය.පාසැලේදි නාට්‍ය කවි කතා ලිවීමෙන් මගේ උණ අවබෝධ කරගත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශිෂ්‍යාවකවූ අපේ සංගීත ගුරුතුමිය අම්මාව වෙනමම හමුවී මට ජ'පුර ජනමාධ්‍ය ඩිප්ලෝමාව කරවන්නටැයි කීවය.එකල අර පොත් කියවීම නිසාම පොත්පත් රාජසන්තකවූ යුගයක් තිබූ නිසා ඊට ඒතරම් දුරගමනක් නොතිබුණි.උණ විභාග ගොඩට යටවී ගියේය.


ඊටපසු මට වැලදුණු උණ ස්වශක්තියෙන් නැගීසිටීමේ උණය.රැකියා විරහිත උපාධිධාරියෙකු නොවී රැකියාවක යෙදෙන ලොක්කියක වීමේ උවමනාවෙන් දැඩිව පෙළුණු නිසාම පළමු රැකියාවට අම්මාත් තාත්තාත් කැමතිකරවාගන්නටද මට හෙන ගේමක් දෙන්නට සිදුවිය.ඉංජිනේරු පීඨය පෙනෙන නොපෙනෙන දුරින් හිඳත් එහි යන්නට උවමනාවක් නොතිබූ මගේ මුරණ්ඩුකම සීයාගේ හිත රිද්දවන්නටද සමත්විය.අවසානයේ රැකියාව අතරතුර ඉගෙනීම කරන්නට පොරොන්දු දී ඒ උණෙන්ද ගොඩ යන්නට හැකිවිය.

ඊටපසු කාලෙක මට ලා 'මොඩ්ලින් උණ'ක් ඇතිවිය.උණ නිසාම සම්මුඛ පරීක්ෂණයකටද ගොස් ඉන් සමත්වුවත් හතර වටින් වෙඩිමුර එල්ලවූයෙන් ඒ උණ ඉබේම බැස ගියේය.:(

දැන් මට ඇතිවී තිබෙන උණ, 'බ්ලොග් උණ'ය.එය බැස නොයනු ඇතැයි මම බලාපොරොත්තුවෙන් හිඳිමි.කෙසේවුව, මේ කොයියම්ම උණක් හෝ කොයියම්ම ආකාරයකින් හෝ දොරටවඩින්නටද හැකිය,එසේ හෙයින්,උණ අනාගතයට භාරය.

8 comments:

  1. බ්ලොග් උණ බැස නොයේවා..

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා :)

      Delete
  2. ස්වශක්තියෙන් නැගීසිටීමේ උණ මටත් තිබුනා :) නලීන් කිව්ව වගෙ බ්ලොග් උණ බැස නොයේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ උණ කාටවුනත් අනිවර්යෙන් හැදෙන්න වටින උණක් නෙව :D

      Delete
  3. මටත් කාලෙන් කාලෙට ඔය වාගෙ නොයෙක් උණ වල් තිවුනා. ළමා නිළියක් වීමේ උණ, මියුසික් උණ, රහස් පරීක්ෂකයෙක් වීමේ උණ, තාරකා විද්‍යාඥවරයක් වීමේ උණ එයින් සමහරක්. කරාටේ උණ දරුණුවට හැදිලා හොඳටම ඉල්ලං කෑවා කාලයක්.

    පහුගිය දවස් වල නම් මටත් අසාධ්‍යම වෙලා තිවුනෙ බ්ලොග් උණ. දැන් නම් වැඩත් එක්ක ඒ උණ ටිකක් අඩු වෙලා ගිහින්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. උණක් නැති ජීවිතේකින් මොන වැඩක්ද නේද? හික් හික් එහෙනම් මෙයා කලුපටි මාස්ටර් කෙනෙක් වගේ.
      හා හා බ්ලොග් උණ නම් අඩුකරගන්න එපා, අපරාදේ ලස්සන කතා ටික.:(

      Delete
  4. බ්ලොග් උණ නං වර්ධනය වී ලස්සන බ්ලොග් එකක පරම හිමිකාරිය වීමේ භාග්‍යය ලැබේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිඟිති.:)ඔබටත් එසේම වේවායි ප්‍රාර්ථනා කරනවා!:)එන්නම්කෝ ඒ පැත්තේ සංචාරෙක.

      Delete